Home Local News Room : ඇමරිකාව යලිත් ඉරානයට පහර දේ…

News Room : ඇමරිකාව යලිත් ඉරානයට පහර දේ…

0
0

 හොර්මුස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර බිම හෙළීමට පියවර ගත් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කිරීමත් සමඟ, අමෙරිකානු සන්නද්ධ බලකායන් ඉරානය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ.

මෙම ප්‍රතිප්‍රහාර මාලාව ආරම්භ වූ බව තහවුරු කරන අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය “මෙම මෙහෙයුම ඉරානය විසින් සිදු කරන ලද අසාධාරණ ආක්‍රමණශීලී ක්‍රියාවට එරෙහිව එල්ල කරන ලද සමානුපාතික ප්‍රතිචාරයක්” බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. පර්සියානු ගල්ෆ් වෙරළ තීරය සහ හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් ප්‍රබල පිපිරුම් හඬවල් ඇසුණු බව වාර්තා වේ.

ප්‍රහාරයට ලක්ව බිම හෙළන ලද අමෙරිකානු ‘ඇපචේ’  වර්ගයේ හෙලිකොප්ටර් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා අමෙරිකානු මුහුදු ඩ්‍රෝන යානයක් මඟින් බේරාගෙන ඇත. මෙවැනි මෙහෙයුමක් සඳහා මිනිසුන් රහිත සාගර යාත්‍රාවක් භාවිතා කළ බව අමෙරිකානු හමුදාව ප්‍රසිද්ධියේ තහවුරු කළ පළමු අවස්ථාව මෙයයි.

“එහි නියමුවන් දෙදෙනෙකු සිටි අතර, ඔවුන් දෙදෙනාම දැනට ආරක්ෂිතව සහ කිසිදු තුවාලයකින් තොරව පසුවෙනවා. කෙසේ වුවද, මෙම ප්‍රහාරයට අමෙරිකා එක්සත් ජනපදය අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතුයි,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘෘත් සෝෂල්’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

අමෙරිකානු නිලධාරීන්ට අනුව, ඉරානය මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානයක් භාවිතා කර ඇතත්, එය හෙලිකොප්ටරය ඉලක්ක කර ගනිමින් හිතාමතාම එල්ල කරන ලද්දක්ද යන්න මෙතෙක් පැහැදිලි නැතැයි CBS පුවත් සේවය වාර්තා කරයි. මේ අතර, ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ආයතනයක් වන ‘මෙහර්’  පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉරානය මෙම හෙලිකොප්ටර් යානය බිම හෙළීමේ වගකීම භාරගෙන නොමැති බවයි.

අමෙරිකානු පුවත් වෙබ් අඩවියක් වන Axios වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාර මාලාව ප්‍රධාන වශයෙන්ම ඉරාන ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කර ගනිමින් දියත් කර ඇත. බන්ඩර් අබ්බාස්, කේෂ්ම් සහ සිරිකි ඇතුළු පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ පිපිරුම් හඬවල් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කර තිබේ.

ABC පුවත් සේවය සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “මෙය ඔවුන් ඊයේ රාත්‍රියේ අපගේ හෙලිකොප්ටරයට සිදු කළ දේට දුන් පිළිතුරක්. අපගේ ප්‍රතිචාරය ඉතා දැඩි සහ ප්‍රබල විය යුතු බව මා විශ්වාස කරනවා. මෙය එවැනි ප්‍රහාරයක්,” යනුවෙනි.

අමෙරිකානු ප්‍රහාර හමුවේ අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත. “තමන්ට එල්ල වන කිසිදු ප්‍රහාරයක් හෝ තර්ජනයක් පිළිතුරු නොදී අත්නොහරින” බව පැවසූ ඔහු, “යුධ පිටියේදී පරාජයට පත්ව සිටියද, අමෙරිකාව අපගේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. ඔබට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් අපගේ කලාපයෙන් ඉවත් වන්න,” යනුවෙන් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

මෙම යුධමය වාතාවරණය නිර්මාණය වූයේ අඟහරුවාදා දිනයේදී ඊශ්‍රායල බලකායන් විසින් දකුණු ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. දකුණු ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් කලාපය තුළ තවත් ප්‍රතිප්‍රහාර මාලාවක් ආරම්භ විය හැකි බවට ටෙහෙරානය මීට පෙර අනතුරු අඟවා තිබුණි.

එසේම, අමෙරිකාව සමඟ සාම සාකච්ඡාවල නිරත වන ඉරාන ප්‍රධාන නියෝජිත මොහොමඩ් බාකර් කලීබාෆ් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, “අපි රාජ්‍ය තාන්ත්‍රික භාෂාවට කැමතියි, නමුත් අපි වෙනත් භාෂාවන් වඩාත් චතුර ලෙස හසුරුවනවා. ඔබ ඔබේ පොරොන්දු කඩ කළහොත්, අපි වඩාත්ම දක්ෂ භාෂාවට මාරු වන්නෙමු,” යනුවෙනි.

පසුගිය සති අන්තයේ ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නවත්වා තිබුණේ අප්‍රේල් මාසයේ ඇති කරගත් සටන් විරාමයෙන් පසුවය. කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සිදුවන සාකච්ඡාවලට බාධා වන බැවින්, වහාම ප්‍රහාර නතර කරන ලෙස ට්‍රම්ප් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය.

කෙසේ වුවද, අඟහරුවාදා මාධ්‍යවේදීන් ඇමතූ ට්‍රම්ප් කියා සිටියේ, කලාපීය සාමය උදෙසා ඉතා යහපත් එකඟතාවකට පැමිණීමේ අවසන් අදියරේ පසුවන බවත්, තවත් දින දෙක තුනකින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට හැකි වනු ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here