22
අධිකරණ පද්ධතිය තුළ නීතියේ ප්‍රමාදය වැළැක්වීම සඳහා අධිකරණ ස්වයංක්‍රියකරණය අනිවාර්ය බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (01) පැවසීය.
අධිකරණ ස්වයංක්‍රියකරණය තුළින් වංචා දූෂණ නැති කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට 2017 වසරේදී යෝජනා වුණා. එය යථාර්ථයක් කර ගැනීමට යහපාලන ආණ්ඩුව කාලයේ අපි කටයුතු කළත් එය සම්පූර්ණ කරන්නට නොහැකි වුණා. අධිකරණ ස්වයංක්රියකරණයක් අවශ්‍ය වෙනවා. අධිකරණ ස්වයංක්රියකරණයට යන වියදම වන්නේ රුපියල් බිලියන 5යි. කොන් අල්ලා ගන්නේ නැතිව මේ දේවල් අපි ක්‍රියාත්මක කළ යුතුයි. නීතියේ ප්‍රමාදය සහ ගුණාත්මකභාවය මෙමඟින් ඉහළ නැංවිය හැකි අතර පියවර තුනක් අනුගමනයෙන් ක්‍රියාවට නංවා වසර දෙකකින් මෙය අවසන් කළ හැකියි. බන්ධනාගාරවල තත්ත්වය ඉතාම ඛේදනීයයි. සිරකරුවනුත් මනුෂ්‍යයන් කියලා කීවාට ඒ කෙරෙහි තිබෙන අවධානය බොහොම අඩුයි. සමථ මණ්ඩල ශක්තිමත් කළ යුතුයි. සෑම සමථ මණ්ඩලයක් සඳහාම කාර්යාලයක් ස්ථාපිත කරන්නේ නම් අධිකරණ කටයුතුවලට පහසු වෙනවා. අද වන විට සමථ මණ්ඩලයට පැමිණිල්ලක් යොමු කරන විදිහ ජනතාව දන්නේ නැහැ. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම සමථ මූල මණ්ඩලයට එක් නිලධාරියකු පත් කරන්නේ නම් සමථ මණ්ඩල කටයුතු සාර්ථක කරගත හැකියි.”