ශ්‍රී ලාංකීය දේශපාලනයේ නවමු සහ සුවිශේෂී බලවේගය වන “නිදහස ජනතා සභාව” සිය දේශපාලන ආගමනයේ දැවැන්ත පියවරක් අද දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ “ජැස්මින්” ශාලාවේදී තබන ලදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොහොට්ටුව” ලකුණෙන් මෙවර පාර්ලිමේන්තුවට පත් වූ වංචාවට, දූෂණයට, සොරකමට, පවුල්වාදයට, අකාර්යක්ෂමතාවය ට, අසංවේදීත්වය ට එරෙහිව ක්‍රියාත්මක වූ නිදහස කණ්ඩායම 2022/08/31 වන දින ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විපක්ෂයේ අසුන් ගන්නට යෙදිනි.
“නිදහස ජනතා සභාව” නමින් නව දේශපාලන බලවේගයක් සමාජ ගත කරමින්, අලුත් ගමනක් ආරම්භ කළ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා, කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත්, හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, හිටපු රාජ්‍ය අමාත්‍ය ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, ලලිත් එල්ලාවල, කේ. පී. එස්. කුමාරසිරි, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, සහ නීතිඥ උදයන කිරිඳිගොඩ යන මන්ත්‍රීවරුන් ගෙන් සුසැදි නිදහස ජනතා සභාව වටා මේ වන විට පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති ඉංජිනේරු විජිත හේරත්, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, සිපෙට්කෝ හිටපු සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, මාධ්‍යවේදී සිසිර මුණසිංහ වැනි වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීයවේදීන් රැසක් එක්ව ඇත.
වෘත්තීයවේදී සංවිධාන, කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති සංවිධාන රැසක් නිදහසේ ශක්තිය බවට ක්‍රම ක්‍රමයෙන් පත්වෙමින් ඇත.
නිදහස ජනතා සභාවේ දේශපාලන දැක්මේ සහ ආර්ථික දැක්මේ මුල් පියවර “නිදහසට පෙරවදනක්…..” මැයින්….රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකතුමන්ලා මෙන්ම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ද්‍රවිඩ ජාතික සංධානයේ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්, උත්තර ලංකා සභාව වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ඇතුළු සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බලවේග නියෝජනය කරමින් දේශපාලන පක්ෂ නායක නායිකාවන් රැසක් ඉදිරියේදී ජනගත කරන්නට යෙදිණ.
“නිදහසට පෙරවදනක්….” දේශපාලන දැක්මෙහි සහ ආර්ථික දැක්මෙහි මුල් පිටපත් සිංහල, දමිළ සහ මුස්ලිම් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිදෙනෙකුට සහ හිටපු අමාත්‍ය සරත් අමුණුගම, හිටපු කතානායකවරුන් වන ඩියු ගුණසේකර සහ කරු ජයසූරිය මැතිතුමන් වෙත නිදහසේ ජාතික සභාව වෙනුවෙන් මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා මැතිතුමන් විසින් සංකේතාත්මකව ලබා දෙන ලදි.
නිදහස ජනතා සභාව වෙනුවෙන් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා මෙහිදී සභාව ආමන්ත්‍රණය කරන ලදි.
මහාචාර්ය චරිත හේරත් විසින් නිදහසේ දේශපාලන දැක්ම පිළිබඳව අදහස් දැක්වූ අ.ර ඒ මහතා සඳහන් කලේ,
” වත්මන් ආර්ථික අභියෝග ජයග්‍රහණය කිරීමට නම් රටේ සමහර දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය කාරණයක්. ඒ අනුව ප්රජාතන්ත්රවාදී ආකෘතිය තුළ මැතිවරණ පැවැත්වීම අනිවාර්යයි. එසේම නිදහස ජනතා සභාව පෙනී සිටින්නේ ආර්ථික අර්බූද ජයගත හැකි දේශපාලන යාන්ත්රනයක් ගොඩනැගීම වෙනුවෙන්. ඒ සදහා විපක්ෂයේ පළල්ම පෙරමුණ අපි හදනවා. නව ව්‍යවස්ථාවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි. විගනනය ශක්තිමත් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සැදිය යුතුයි. ඒ සදහා නිදහස ජනතා සභාව පෙනී ඉන්නවා”
ආචාර්ය නාලක ගොඩහේවා විසින් නිදහසේ ආර්ථික දැක්ම පිළිබඳව විශේෂ හඳුන්වාදීම සිදු කල අතර එහිදි,
“සාර්ථක ආර්ථිකයක කොඳු නාරටිය වන්නේ පුද්ගලික ව්යවසායකයත්වයයි. අද අපට අවශ්‍යව ඇත්තේ සැමට සමාන අවස්ථා ලබා දෙන උත්සාහවන්තයාට තරඟ කොට දියුණු විය හැකි සැබෑ ආර්ථික නිදහසක්. කෙසේවෙතත් අපි ක්‍රියාත්මක කරනා ආර්ථික සංවර්ධන වැඩපිලිවෙල ශක්තිවන්තයා පමණක් ජයගන්නා දුබලයා මගහැරෙන්නක් නොවනු ඇති. එසේම අප ප්‍රමුඛත්වය යොමු කරන්නේ යුත්තේ ජාතික ආදායම වැඩි කරන්නට මිස ජනතාව හා ව්‍යාපාර තලා පෙලා රජයේ ආදායම වැඩි කරන්නට නොවේ. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය සඳහා හොඳම අවස්ථාව පවතින්නේ ගෝලීය වෙළදපොල ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධන මූලෝපායන් තුළය කියා. ඒ නිසා ලංකාවේ සීමිත ශ්‍රම බලකාය, ඉඩම් හා අනෙකුත් සම්පත් හැකිතාක් දුරට අපනයන ආර්ථිකයක් සඳහා යොමු කල හැකි නම් එය රටට වඩාත් ඵලදායී වෙනවා “
මෙම අවස්ථාවට සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වෘත්තීයවේදීන් සහ ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
මෙම නිදහසේ පෙරවදන මුල් පියවක් පමණක් බවත් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙම දේශපාලන දැක්ම සහ ආර්ථික දැක්ම ශක්තිමත් කිරීම සඳහා අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරමින් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට එක්වන ලෙස “නිදහස ජනතා සභාව” ඉල්ලා සිටී.