ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය තුළ මේ වන විට බරපතළ සංවිධාන අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය වසා ගැනීම සඳහා පක්ෂ නායකත්වය විසින් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට විවිධ ‘ඉලක්ක’ ලබා දෙමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ හයිඩ් පිටියේදී සංවිධානය කර තිබූ මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගමුව මහතා පෙන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සහ ආසන මට්ටමේ සංවිධාන පක්ෂයෙන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බවයි.
මෙම අභ්‍යන්තර විවේචන සහ ගැටලු මර්දනය කිරීම සඳහා පක්ෂ නායකත්වය පැරණි උපක්‍රමයක් භාවිතා කරමින් සිටින බව ඔහු චෝදනා කළේය.
“අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ දිස්ත්‍රික් සංවිධානවල, ආසන සංවිධානවල ප්‍රශ්න අහන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවේ කල්කිරියාව ගැන ප්‍රශ්න අහන අයට පක්ෂය කියන්නේ ‘දැන් මේක බාර දුන්නාට පස්සේ උඹේ දිස්ත්‍රික් රැලිය කරපන්, උඹේ ආසන රැස්වීම කරපන්’ කියලායි. ආසන සංවිධායකට සහ දිස්ත්‍රික් සංවිධායකට දැන් ඉලක්කම් දීලා තියෙනවා මෙන්න මේ ගාණ රැස්වීමට ගේන්න ඕනේ කියලා. මේක පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සංවිධාන අර්බුදය වසා ගන්න කරන වැඩක්,” යැයි නාගමුව මහතා එහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු නොකර කාන්තාවන් ඡන්දය සඳහා පමණක් පාවිච්චි කර ඇති බවටද ඔහු විවේචනය කළේය.
ධනවාදය වැළඳගෙන සිටින ජාතික ජන බලවේගයට කම්කරු දිනය සැමරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය