මෙම විමර්ශනය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
හරක් කටාට ආරක්ෂාව ලබාදීම, ඔහු ඝාතනයට ලක්වීමෙන් වළක්වා ගැනීමට රඳවුම් නියෝගවලින් ඉවත් කර බන්ධනාගාරගත කිරීමට, ඔහුට එරෙහි විමර්ශනවලින් ඉවත් කිරීමට රඳවුම් නියෝග මත සිටියදී අවශ්‍ය කරන කෑමබීම ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම වෙනුවෙන් මොවුන් රුපියල් කෝටි ගණන් අල්ලස් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු මේ වනවිට ලැබී තිබේ.
මෙම චෝදනාවට ලක්වූවන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
හරක් කටාගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේග පක්ෂයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයකු අල්ලස් කොමිසම මගින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් රැසකගේ තොරතුරු මෙසේ අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් නිලධාරීන් කිහිපදෙනකු මෙන්ම එහි පාතාල ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ද හරක් කටාගෙන් විශාල මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.
එමෙන්ම දේශපාලනඥයන් කිහිපදෙනකු, නීතිඥවරුන් මෙන්ම පසුගිය රජයේ ප්‍රබල රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව ද විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇත.
(දිවයින)