Home Politics News Room : ආගමික විෂයන්වලට විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නවා

News Room : ආගමික විෂයන්වලට විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නවා

0
0

ආගමික විෂයයන් ඉගැන්වීම සඳහා පවතින සීමිත ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට විද්‍යා පීඨවලින් පිටවන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී පසුගියදා (28) පැවසුවාය.

2025 මාර්තු මස විද්‍යා පීඨවලින් පිට වන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත අදාළ ගුරු පුරප්පාඩු වෙන් කර තැබීමට සිදුවීම නිසා, ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා 2019 මැයි මස 25 වැනිදා පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් 2024 සැප්තැම්බර් 25 දිනැතිව උපදෙස් විමසා යවා ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

එම කොමිෂන් සභාවෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බව ද අගමැතිනිය පැවසුවාය.

සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යාංශ නිවේදන ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

ධර්මාචාර්ය සමතුන් ගුරු සේවාවට බඳවා ගැනීමට 2019 වසරේදී තරග විභාගය පැවැත්වුවද කොවිඩ් නිසා බඳවා ගැනීම් සිදු නොකළ බව ද අගමැතිනිය පැවසුවාය.

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 2652ක් සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 40,621ක් පවතින බවත් රට පුරා පාසල්වල ගුරු පුරප්පාඩු 43,273ක් ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here