අමෙරිකාව සහ එංගලන්තය කොයිතරම් විශාල වුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට වඩා විශාල බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාසවල පෙරේදා (18) පැවති බලමණ්ඩල රැස්වීම් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“රනිල් වික්‍රමසිංහ මහතා මීට වසරකට පමණ ඉහතදී භාර ගත්තේ මුළුමනින්ම කඩාගෙන වැටුණු රටක්. නමුත් හරියටම වසරකට ආසන්න කාලයකදී කඩාගෙන වැටුණු මේ රට ලෝකයටම ආදර්ශයක් දෙමින් නැවත නිවැරදි මාර්ගයේ ගමන් කරවීමට ඒ මහතාට හැකි වී තිබෙනවා.
මෙවැනි ආර්ථික අර්බුදවලට ලක් වූ ලෝකයේ වෙනත් රටවලට තවමත් නිසියාකාරයෙන් නැඟිටින්න බැරි තත්ත්වයක තිබියදී රනිල් වික්‍රමසිංහ මහතාට අපේ රට මේ ආකාරයෙන් නැවත ඔසවා තැබීමට හැකි වුණා. ඒ මහතා ලෝකයේ අනෙක් රටවල නායකයන්ට වඩා වෙනස්. පළපුරුද්ද, අත්දැකීම් නිසා ඉතාමත් කෙටි කාලයකදී අපේ රට ආර්ථික අර්බුදයෙන් මුදා ගන්න ජනාධිපතිවරයාට හැකි වුණා.
එංගලන්තය සහ අෙමරිකාව වැනි රටවල් කොතරම් විශාල වුණත් ඊට වැඩිය රනිල් වික්‍රමසිංහ මහතා විශාලයි. එය දැන් අපට ඔප්පු වෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා එංගලන්තය බලා පිටත් වුණා. එහිදී ලෝක නායකයන් බොහෝමයක් ඒ මහතා ඉතා හරසරින් පිළිගෙන තිබුණා. එංගලන්ත ගමනින් අනතුරුව ප්‍රංශය බලා පිටත්ව යනවා. එහිදී අපට ණය දෙන රටවල් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඒ සියලු රටවල් අප ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන බව අනිවාර්යයි.
විපක්ෂයේ ඇතැම් අය අපේ සැලසුම් ප්‍රශ්න කරනවා. අපි මේ ක්‍රියාත්මක කරන්නේ 2001දී ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනයි. 2020 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනතාවට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේවල් ද අප ක්‍රියාත්මක කරමින් යනවා. අපේ සැලසුම් ගැන යෝජනා, චෝදනා, විවේචන කරන අයට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජාතික සභාව නිර්මාණය කළේ ඒ සඳහායි. වැටුණු රට ගොඩගෙන ඉදිරියට ගෙන යන්න සියලු දෙනාම එකතු විය යුතුයි.
මේ මාසය අවසන් වන විට එක්සත් ජාතික පක්ෂය බලමණ්ඩල 150ක් පමණ නිර්මාණය කරනවා. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ පක්ෂ සම්මේලනයක් පවත්වා, පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. රට ඉදිරියට ගෙන යන්න නම් පක්ෂයත් වෙනස් විය යුතුව තිබෙනවා. මේ වැඩපිළිවෙළ කවුරුන් හෝ කඩාකප්පල් කරනවා නම් රටේ ජනතාවගේ ජීවිතවල වගකීම ද ඔවුන් භාර ගත යුතුයි. ඔබට ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් අප සියලු දෙනාම එකතු වී රට දියුණු කළ යුතු වෙනවා. අපේ රට දියුණු රටක් බවට පත් කරන්න නම් ඒ රටවල නීති මේ රටට ගේන්න වෙනවා. අප අලුතින් නීති හදන්නේ නෑ. ලෝකය පිළිගත් නීති රීති ක්‍රියාත්මක කරනවා.
මේ ආකාරයට ලබන වසර වන විට රට සම්පූර්ණයෙන්ම ශක්තිමත් වේවි. නමුත් අප එක් එක් අයගේ අභිප්‍රායන්වලට යටත් නොවිය යුතුයි. අද පාර්ලිමේන්තුවේ සිටින කිසිම පක්‍ෂයක් එක්ක අපට තරගයක් නෑ, කිසිවකු අත්හැර මේ ගමන යන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දිගින් දිගටම ප්‍රකාශ කරනවා. ඒ මහතා පවසන්නේ 1946දී ඩී. එස්. සේනානායක මහතා නිදහස වෙනුවෙන් සටන් කරද්දී පැවති තත්ත්වයට මේ රට යළිත් පත් කළ යුතුයි කියලා.”
ශිරෝමි අබයසිංහ