Home Politics News Room : පිතෘ නිවාඩු සඳහා නීති ගෙන එනවා

News Room : පිතෘ නිවාඩු සඳහා නීති ගෙන එනවා

4
0

පඩි පාලක සභා – සාප්පු හා කාර්යාල පනත්වල වෙනස්කම් නැති කර

ඇමැති මනුෂ නානායක්කාර

අපේ බලාපොරොත්තුව නව කම්කරු නීති මගින් 2048 ජය ගත හැකි නූතන ලෝකයට ගැලපෙන වැඩ ලෝකයක් නිර්මාණය කිරීම බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) එම අමාත්‍යාංශයේ පැවැති කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ඉදිරිපත්ව තිබෙන යෝජනාවල සංක්ෂිප්තයක් ප්‍රසිද්ධියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ ඇමැතිවරයා මෙසේද කීය:

‘‘කොන්දේසිවලට යටත්ව කාන්තාවන්ට රාත්‍රියේ සේවය යෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ සලසා දීම, විදේශිකයන් ශ්‍රී ලංකාවේ සේවය කිරීමේදී එය විධිමත් කිරීමටත් නියාමනයටත් නීති සකස් කිරීම, සේවකයන්ට සේවා ස්ථානයේ සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට කටයුතු කරනවා.

‘‘සමාජ ආරක්ෂණ අරමුදලක් මඟින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය හා විරැකියාවකදී වන්දි දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීමට නව කම්කරු නීතිවලට ඇතුළත් කිරීම, අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට යන්නේ නැතිව රටේ දැන් තියෙන ප්‍රශ්න වෙනස් කරන්න බෑ. පිතෘ නිවාඩු දීම සඳහා වන නීති ගෙන එන අතර, පඩි පාලක සභා ආඥා පනතේ සාප්පු හා කාර්යාල සේවක පනතේ පවතින වෙනස්කම් නැති කර සැමට සමානව කටයුතු කරන ආකාරයේ නීති සම්පාදනය කරනවා. ජාතික වේතන කවුන්සිලයක් හදුන්වාදීමටද ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරනවා.

‘‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය තමයි නිදහස ලබා අවුරුදු සියය පිරෙන 2048 වර්ෂය වන විට වත් අපි දියුණු රටක් විය යුතුයි කියන එක. ඒ ඉලක්කය ඇතුව තමයි වත්මන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කරල තියෙන්නෙ. තත්පරෙන් තත්පරේ වෙනස් වන තාක්ෂණයට අනුව තප්පරෙන් තප්පරේ වෙනස් වන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයා නිර්මාණය කිරීමට අපට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා අපට ගොඩක් වෙනස්කම් කිරීමට සිදු වෙයි. ආයෝජන එන්න ඕනෑ රට ඇතුළට. තියෙන ව්‍යාපාර ප්‍රසාරණය කරන්න ඕනෑ. රැකියා අවස්ථා වැඩි කරන්න ඕනෑ. එහෙම බැරි වුණොත් රටක් විදිහට අපෙ අසමත් වෙනවා. විශේෂයෙන්ම අද රාජ්‍ය අංශය නියෝජනය කරමින් වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටිනවා. ඒ වගේම සේවා යෝජකයන් නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. මේ වැඩපිළිවෙළ පිළිබඳ මූලික හැඳින්වීමක් නොකළොත් අද දවසේ මුල් වතාවට සහභාගි වන අයට ලොකු අසාධාරණයක් වන නිසා අපි අද මේ රැස් වන කාරණය සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

කම්කරු නීතිය වෙනස් කරන්න ඕනෑ කියන කාරණය දශක ගණනාවක් තිස්සෙ කතා වුණා. හැබැයි විවිධ හේතු මත ඒක වෙනස් කරන්න බැරි වුණා. කම්කරු නීතිය වෙනස් කරන්න උත්සාහ කරපු එවක සිටි කම්කරු කොමසාරිස් ජනරාල්තුමා, ඒ කියන්නෙ වත්මන් කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමාට කම්කරු කොමසිරිස් ජනරාල් ධුරය දාලා යන්න වුණා. ඒ කියන්නෙ ඒක ඒ තරම්ම භයානක දෙයක්; ඒ තරම්ම සංවේදි වැඩක්. ඒ නිසාම තමයි අපි කම්කරු නීතිය සකස් කිරීම සඳහා ඉතාම පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් සකස් කෙරුවෙ. අපි පහුගිය දෙසැම්බර් මාසයේදී ජාතික කම්කරු උපදේශක සභාව දැනුම්වත් කළා. කම්කරු නීතිය වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා කියල. ඊට පස්සෙ අප ජාතික කම්කරු උපදේශක සභාවටත් නීත්‍යනුකූලව සාමාජිකයන් පත් කළා.

‘‘මේ නව කම්කරු නීතිය සකස් කිරීමේ කටයුත්තේදී ඒ සම්බන්ධයෙන් සියලු මාධ්‍ය මඟින් ජනතාව දැනුම්වත් කෙරුව. සියලු වෘත්තීය සමිතිවලට ආරාධනා කෙරුවා. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලට පවා අප ආරාධනා කළා මේ සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට. සියළුම වාණිජ මණ්ඩලවලට අපි ආරාධනා කළා ඔවුන්ගේ අදහස් හා යෝජනා අපට ලබා දෙන්න කියල. මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන සියලු දෙනා සඳහා අප මේ සභාව විවෘත කළා. සියලු දේශපාලන පක්ෂවලට අප ආරධානා කළා. සමස්ත සමාජයටම මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අප අවස්ථාව දුන්නා. ඒ අනුව ඉදිරිපත් වූ දහස් ගණනක් අදහස් හා යෝජනාවලින් සකස් කරගත් මූලික ලියවිල්ල මම අද තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනවා.

‘‘ජාතික කම්කරු උපදේශක සභාවෙදි ප්‍රශ්නයක් ආවා ඒ සභාවට කාන්තා නියෝජනයක් නැහැ කියලා. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතිය කුමක්ද කියලා තීරණය කිරීමේ බලය අපට තිබුණාට, ඒ සඳහා සහභාගි වන නියෝජිතයා කවුද කියල තීරණය කරන්නේ අදාළ වෘත්තීය සමිතිය විසිනුයි. සුදුසුකම් අනුව ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන්න අප වෘත්තීය සමිතිවලට අවවස්ථාව දී තිබෙනො. එහෙත් ඒ වෘත්තීය සමිතිවලත් බාගෙට බාගයක් ඉන්නෙ කාන්තාවන් වුවත් ඒ වෘත්තීය සමිතිවල උඩ පුටුවල ඉන්න අය ඒ ඒ සමිතිය නියෝජනය කරන නිසා ඒ කිසිම වෘත්තීය සමිතියක් අපට මේ සභාව නියොජනය කරන්න කාන්තාවක් පත් කර එවුවේ නෑ. ඒ නිසා අපෙ නැවත වතාවක් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළා පුළුවන් නම් කාන්තාවක් පත් කර එවන්න කියලා.’’

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here