සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇයගේ ශ්‍රී ලංකා වීසා බලපත්‍රය වර්ෂ 2014 දී අවසන් වී ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපින ලේඛන අනුව ‘නයනා සමන්මලී’ හෙවත් ඩයනා නටාෂා කැකනදුර හෙවත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව සඳහන්.
කෙසේ වෙතත් ඇය 2014 ජනවාරි මාසයේ දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා.
ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට ප්‍රකාශ කළේ ඇය “ද්විත්ව පුරවැසිභාවය” උසුළන්නියක නො ව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක හිමිකාරියක් බව යි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ, මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට යි.
ඒ අනුව කරුණු විශ්ලේෂණය කර ඉක්මනින් මෙම අධිකරණ කටයුත්ත අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා සිටියා.
ඩයනා ගමගේගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙම කරුණු අධිකරණය හමුවේ අනාවරණය කිරීමට සූදානමින් සිටිය දී ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හදිසි ස්ථාන මාරුවක් ලැබුණා.
මේ හේතුවෙන් මෙම කරුණු අධිකරණය හමුවේ අනාවරණය නො වූ අතර, පසු ව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගියේ, ඔහුට එල්ල වූ මරණ තර්ජන හමුවෙි යී.






