Home Local News Room : ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි.. අපේ වත්කම්, දේපල ජනතාවට ගැටළුවක් නෑ..

News Room : ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි.. අපේ වත්කම්, දේපල ජනතාවට ගැටළුවක් නෑ..

0
0

 ජාතික ජන බලවේගයේ සාමාජිකයන් යනු “හිඟන්නන්” පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජාතික රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම් බැරකම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳව නිවේදකයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වත්කම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි.

“මේ වත්කම් බැරකම් ගැන මිනිස්සු නෙමෙයි ඇත්තටම ප්‍රශ්න කරන්නේ. විපක්ෂය සහ යම් යම් කල්ලි විසින් යම් ස්ථානගත කිරීම් කරනවා මේ දේවල්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරන පිරිස් හට මුදල් තිබිය නොහැකි බවටත්, ඔවුන් “හිඟන්නන්” විය යුතු බවටත් විපක්ෂය විසින් ගොඩනගා ඇති මතවාදය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

“ජේවීපී කියන්නේ හිඟන්නෝ, සල්ලි තියෙන්න විදිහක් නැහැ” යනුවෙන් විපක්ෂය විසින්ම කතාවක් නිර්මාණය කර ඇති බවත්, තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු දූෂිතයෙකු නොමැති බව තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. යම් යම් අවස්ථාවල පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනගා ඇති බව පිළිගත් අමාත්‍යවරයා, එය කිසිසේත්ම ප්‍රතිපත්තිමය වරදක් හෝ තීන්දු ගැනීමේ වරදක් නොවන බව පැහැදිලි කළේය.

වත්කම් සම්බන්ධයෙන් එල්ල වන විවේචන කුමන මට්ටමක පැවතියද, ජනාධිපතිවරයා මෙන්ම තමන්ද මෙම කණ්ඩායම පිළිබඳව පූර්ණ තෘප්තියකට පත්ව සිටින බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here