Home Local News Room : රැජිණගේ ක්‍රිකට් ‍යළි පිබිදුණේ රූස්ස ගසක් වෙලා ! –...

News Room : රැජිණගේ ක්‍රිකට් ‍යළි පිබිදුණේ රූස්ස ගසක් වෙලා ! – Lanka Truth | සිංහල

0
0

2015 ලෝක කුසලානයේදී බංග්ලාදේශයෙනුත් කාලා ගෙදර ගියපු එංගලන්තය එයාලගේ ක්‍රිකට්වල වෙනසක් කරනවා. එදත් නායකයා වුනේ ඔයින් මෝර්ගන්. හැබැයි ලෝක කුසලානයේ බංගලියන්ගෙනුත් කාලා ආවා කියලා එයාලා මෝර්ගන්ගේ නායකත්වය ගලවන්න දැගලුවේ නැහැ. ටීම් එකේ හිටපු වයසක සෙට් එක අයින් කරලා මෝර්ගන් එක්ක බට්ලර්, ස්ටෝක්ස්, බ්‍යාස්ටෝ වගේ තරුණ සෙට් එකක් එක්ක එයාලා එයාලගේ වයිට් බෝල් ක්‍රිකට් එක අරගෙන යනවා.

මෝර්ගන් තමයි මූලිකයා. මෝර්ගන් තමයි මේ එංගලන්ත පරණ ක්‍රිකට් එක අලුත් කරලා ඇග්‍රසිව් ක්‍රිකට් එක එංගලන්තයට අරගෙන එන්නේ. ඒ කාලේ එංගලන්තයේ director of Cricket තනතුර දැරුවේ ඇන්ඩෘ ස්ට්‍රවුස්. මෝර්ගන් එයා එක්ක එකතු වෙලා පොඩි ප්ලෑන් එකක් ගේනවා. එංගලන්තය කියන්නේ වැඩිය පිටරටවල ලීග් ක්‍රිකට්වලට යන්න වැඩිය කැමති රටක් නෙමෙයි. නමුත් මෝර්ගන් මැදිහත් වෙලා ලෝකේ වටේ හොදම ලීග් ක්‍රිකට් ගහන්න යන්න අවස්ථාව එංගලන්ත ක්‍රීඩකයින්ට අරන් දෙනවා. එතැනින් මේ ක්‍රීඩකයින් අයි.පි.එල් බිග්බෑෂ් වගේ ලීග් ගහලා ඇග්‍රසිව් ක්‍රිකට් එක ගහන්න දේවල් ඉගෙන ගන්නවා. මෝර්ගන්ට උවමනා වුනේ එක්දින තරගවල ලකුණු 260ක් 270ක් ගහනවා වෙනුවට පන්දුවාර 50ට ලකුණු 340ක් 350ක් ගහන්න. ඉතිං ඒක එයාලා කරා. අදටත් එක්දින පිටියේ කන්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ‍රැස් කරලා තියෙන්නේ එංගලන්තය.

අපේත්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරිම් කමිටු සභාපති වෙලා නවකයින්ට තැන දීලා අපේ ක්‍රිකට්වල කරා වගේ වෙනසක් තමයි එදා එංගලන්තයෙත් කරේ.

ඒ විතරක් නෙමෙයි, Domestic Structure එකේ පවා වෙනදා රතු පන්දුවට මූලිකත්වය දීපු එංගලන්තය සුදු පන්දුවට විශේෂ තැනක් දීලා සුදු පන්දුවට ගැලපෙන ක්‍රීඩකයින් හොයන්න ගන්නවා.

ඉතිං ඒ කරපු වෙනස්කම්වල ප්‍රතිඵල එයාලා අවුරුදු 04ක් යන්න කලින් අත් විඳිනවා. ඒ මෝර්ගන්ගේ නායකත්වය යටතේම එංගලන්තය 2019දී මීට කලින් කවදාවත් එංගලන්ත නායකයෙක්ට බැරි වෙලා තිබුන එක්දින ලෝක කුසලානයක පහස ක්‍රිකට්වල මුල් අයිතිකාරිත්වය දරන එංගලන්ත වැසියන්ට ලබා දෙනවා.

එතැනින් පස්සේ මෝර්ගන් සමු ගන්නකල්ම එංගලන්තය කියන නම වයිට් බෝල් ක්‍රිකට්වල ප්‍රභලම රටක් විදිහට තියාගෙන යනවා.

ඔය අතරේ එංගලන්ත ටෙස්ට් කන්ඩායම අළු බඳුන පරාජය වෙලා නන්නත්තාර වෙනවා. එතකොට හිටපු පුහුණුකරු සිල්වර්වූඩ් අයින් කරලා එයාලා ඒ වෙනුවට බ්‍රෙන්ඩන් මැක්ලම් ගන්නවා. මැක්ලම් කියන්නේ ඉතිං ටෙස්ට් ක්‍රිකට්වලත් ටුවෙන්ටි ගහපු මිනිහා. ඉතිං මිනිහා එයා දන්න ක්‍රිකට් එක සහ මිනිහගේ විදිහ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් එකටත් ගේනවා. මැක්ලම් සංකල්පය එතැන් සිට බ්‍යාස්ටෝ වගේ පිතිකරුවන් හරහා මැක්ලම් එංගලන්ත ටෙස්ට් පිටියට එක් කරනවා. ඒ කරලා සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් පිටිය අතික්‍රමණය කරලා එංගලන්තය අලුත්ම පන්නරයක් ටෙස්ට් ක්‍රිකට් වලත් ඇති කරනවා.

ඔය අතරේ එංගලන්ත සුදු පන්දුවට පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒ මෙච්චර කාලයක් ප්‍රභල රටක් විදිහට සුදු පන්දුවෙන් එංගලන්තය අරගෙන ගියපු එයාලගේ නායකයා ඔයින් මෝර්ගන් එංගලන්ත නායකත්වයට සමු දෙනවා. එතැනින් පස්සේ එංගලන්ත සුදු පන්දුවේ නායකත්වයට ජෝස් බට්ලර් පත් කරනවා.

ඒ වෙද්දි බට්ලර් හිටියේ පිතිකරුවෙක් විදිහට හොදම ෆෝම් එකක,

පහුගිය අයි.පි.එල් තරගාවලියේ ශතක පිට ශතක ගහලා මිනිහා වෙනම ලෙවල් එකකට ගියා. හැබැයි ඒ ගහලා එංගලන්ත කන්ඩායමේ නායකයා වුනා විතරයි මෑන් ෆේල් වෙන්න ගන්නවා.

ෆේල් වෙනවා විතරක් නෙමෙයි එංගලන්තය එයාලගේ රටේම ආසියානු රටක් වෙච්චි ඉන්දියාව හමුවේ දෙකට එකක් විදිහට විස්සයි විස්ස තරගාවලි පරාජයක් ලබනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවත් දෙකට එකක් විදිහට එංගලන්තයට ගහනවා.

ඔන්න බට්ලර්ගේ නායකත්වය ගැන කතා වෙන්න ගන්නවා. මොකද මිනිහගේ ෆෝම් එකත් බැස්සා. මෝර්ගන් ගියා විතරයි ඔක්කෝම හබක්. බට්ලර්ට බැහැ මේ ඉන්න ලෝක පූජිත ක්‍රීඩකයින්ගෙන් හරියට වැඩක් අරන් තරඟ ජයග්‍රහණය කරන්න කියලා ඇතැමුන් කතා වෙනවා. නායකත්වය පවා බට්ලර්ගේ දැඩි ආන්දෝලනාත්මක තත්වයකට පත් වෙනවා.

ඔහොම අර්බුදයක් තියෙද්දි තමයි එංගලන්තය පකිස්තානයට යන්නේ. ඕකට ඇලෙක්ස් හේල්ස් එහෙමත් යනවා. ගිහින් කට්ටියම පර්ෆෝම් කරනවා. අර ෆේල් වෙලා හිටපු හැමෝම වගේ නැවතත් සුපුරුදු රිද්මයට එනවා. ඊට පස්සේ තමයි එංගලන්තය මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වෙන්න ඕස්ට්‍රේලියාවට එන්නේ. එංගලන්තය වේලාසනින්ම ඕස්ට්‍රේලියාවට ඇවිත් එවර ලෝක ශූරයින් වෙච්චි ඕස්ට්‍රේලියාව එක්ක විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කරනවා. බට්ලර් නැවතත් කන්ඩායම සමගින් එකතු වෙන්නේ පොඩි විවේකයකුත් අරගෙන. ඉතිං ඔන්න ඔය ඕස්ට්‍රේලියානු තරගාවලියේ නැවතත් බට්ලර් එයාගේ සුපුරුදු දක්ෂතා අතරට එනවා.

විනය විරෝධී වැඩ කරලා කන්ඩායමෙන් එලියට විසි කරලා මෝර්ගන් පැත්ත පලාතකට වද්ද ගත්තේ නැති ඇලෙක්ස් හේල්ස්ටත් බ්‍යාස්ටෝ ආබාධ වුනු නිසා නැවතත් කන්ඩායම සමගින් එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. එයත් ඔය පකිස්තාන තරගාවලියේ ඉදන් දක්ෂතා දක්වනවා.

ඉතිං ඔහොම ආපූ එංගලන්තය ලෝක ශූරයින් වෙලා හිටපු ඕස්ට්‍රේලියාව දෙකට බන්දුවක් විදිහට පරාජය කරලා ඊට කලින් පකිස්තාන තරගාවලියත් දිනලා හොඳ ජයග්‍රාහී මානසිකත්වයකින් මෙවර ලෝක කුසලානයට එනවා.

ඒ ඇවිත් දිනන්න තිබුන තරඟ වර්ෂාවට හේදෙනවා. නොසිතූ විදිහට අයර්ලන්තය වගේ කන්ඩායමකිනුත් පරාජය වෙනවා. හැබැයි වැටුනේ නැහැ. ඉක්මනින්ම නැගිටිනවා. බට්ලර් හරි වාසනාවන්තයි. එයාගේ කන්ඩායමේ එයාට ඕනි තුරුම්පු සේරම තිබ්බා. හොද ඕපනර්ස්ලා දෙන්නෙක් හිටියා. වැටුනු ඉනිමක් අදින්න මොයින් අලී, බෙන් ස්ටෝක්ස් වගේ අය හිටියා. නිකන්ම අය නෙමෙයි ඒ දිනනකල් ගහන ෆිනිෂර්ස්ලා. පවර් හිටර්ස්ලා වැහි වැහැලා හිටියා. එකේ ඉදන් නොම්බර 10ට යනකල්ම ඉන්න අයට බැට් කරන්න පුළුවන්. ඒකත් හැදිලා තියෙන්නේ වමත් දකුණත් සුසංයෝගය භාවිතා කරන්නත් පුළුවන් වෙන්න. වේග පන්දු යවන්නෝ විදිහට සෑම් කරන්ලා කම්බැක් කරා. ජෝඩන්, සෑම් වගේ ඩෙත් බෝලර්ස්ලා හිටියා. මාර්ක් වූඩ් වගේ අයගේ එක්ස්ට්‍රා පේස් එයාලට තිබ්බා. ක්‍රිස් වෝක්ස් වගේ අලුත් බෝලෙන් ස්පෙෂලිස්ට්ලා එයාලට හිටියා.ඕෆ් ස්පින් ඕනි නම් මොයින් අලී හිටියා. ඕෆ් ස්පින් ලෙග් ස්පින් දෙකම දාන්න පුළුවන් ලිවිංස්ටන් එයාලට බෝනස් එකක් වුනා. අඩිල් රශීඩ් කොහොම හරි වර්ල්ඩ් කප් එකේ ෆෝම් එකට ආවා. ඉතිං හරි ඉක්මනින් එයාලා නැගිට්ටා.

හොඳ ක්‍රීඩකයින් ඉද්දි අවුරුදු ගානකට වට්ටන්න බැරි වෙන්න ක්‍රිකට් සැලැස්මක් හදලා තියෙද්දි පොඩි පොඩි පහළ බැසීම් වුනත් හරි ඉක්මනින්ම ඒවයින් ගොඩට ඇවිත් නැවතත් සුපුරුදු රිද්මයට එන විදිහ එයාලා පෙන්නුවා.

අවසානයේ 2016දී ලෝක කුසලානයක් නැති කරපු බෙන් ස්ටෝක්ස්ම මේ පාර එයාගේ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කරලා එංගලන්තයට තවත් ලෝක කුසලානයක් අරගෙන දුන්නා. ස්ටෝක්ස් විතරක් ගත්ත ලෝක කුසලානයක් නෙමෙයි මේක. කන්ඩායමක් විදිහට එකතු වෙලා ලබපු ජයක් !

සෑම් කරන් තරඟාවලියේ සහ අවසන් තරගයේ වීරයා වෙලා සාර්ථක වේග පන්දු යවන්නෙක්ට ඕනි වේගය විතරක්ම නෙමෙයි කියලා පෙන්නනවා. කන්ඩායමේ හැමෝම මේ ජයග්‍රහණයට ලොකුවටම මහන්සි වුනා. හේල්ස්ලා ලබපු දඩුවම්වලට උත්තර දුන්නේ පිත්තෙන්ම ලකුණු ගහලා.

ඉතිං ඔවුන් නැවතත් ලෝක කුසලානයක් අරගෙන එංගලන්තයට යනවා. මේ දේවල් මෙහෙම වුනේ එදා එංගලන්ත පරිපාලනය ගත්ත හොද තීරණ හින්දා. අද වෙද්දි එංගලන්තය කියන්නේ ක්‍රිකට්වලින් ලෝකේ හොල්ලන්න බැරි රටක් වෙලා.

අපෙත් මේ වෙනස කරන්න තමයි පහුගිය කාලේ උත්සහ කරේ. පටන් ගත්තේ මේ වැඩේ. නවකයින් ගෙනල්ලා ඩොමැස්ටික් තරග රටාව වෙනස් කරලා මුල ඉදන්ම හදාගෙන යනවා. ඉතිං ඒ දේවල් වල පුංචි ප්‍රතිඵලයක් අපි පහුගිය දවස්වල ආසියානු කුසලානයෙන් දැක්කා.

ඊට කලින් බංගලියන්ගෙන් පවා කාලා ආපු අපි මේ පාර ආසියානු කුසලානයට ගිහින් එන්නේ කප් එකත් අරගෙන. තව අපිට යන්න ලොකු ගමනක් තියෙනවා. එදා 2015දී ලෝක කුසලානයේ නහුතෙටම කාලා එද්දි එංගලන්ත පරිපාලනය මෝර්ගන්ව විශ්වාස කරා. දුක තියෙන්නේ අපි මෙවර ලෝක කුසලානයේ හොදට ක්‍රීඩා කරලා කිසිම රටක් එක්ක කුජීත විදිහට පරදින්නේ නැතුව ගේමක් දීලා දැන් ආවට පස්සේ ක්‍රිකට් ගහපු කප් ගෙනාපු සමහර උන්දැලම වංශේ කබල් ගාමින් මේ ගොඩ එන්න හදන ක්‍රිකට් එක ආයේ පරණ තත්ත්වයට දාන්න හදනවා.

ඉතිං මීලඟ ලෝක කුසලානය තියෙන්නේ ඉන්දියාවේ. අපිට හුරුපුරුදු කන්ඩිශන්වල. දැන් හොද කන්ඩායමක් අපිට ඉන්නවා. කරන්න ඕනි මේ යන සිස්ටම් එක තවත් ශක්තිමත් කරලා කොහොමද ඉස්සරහට එන ලෝක කුසලානවලට ලෑස්ති වෙන්නේ කියලා බලන එක. හරියට එදා මෝර්ගන් 2015දි පැරදිලා 2019දී එංගලන්තයේම කප් එක ඉස්සුවා වගේ අපිත් සූදානම් වෙන එක.

එක දෙයක් විශ්වාස කරනවා. ඒ මේ දැන් අපි දුවන කරගෙන යන සිස්ටම් එක ගැන. මට මේ සිස්ටම් එක විශ්වාසයි. මේක තවත් පොලිශ් වෙලා හරියට කරගෙන ගියොත් තවත් නොබෝ කාලයකින්ම අර අපේ කාලේ කතාවට තිත තියන්න පුළුවන් සෙට් එකක් මේ රටෙන් බිහි වෙනවා.

ඉතිං අවසානයේ දෙවෙනි වරටත් ලෝක කුසලානක පහස විඳපු එංගලන්තයට උණුසුම් සුභ පැතුම් එකතු කරනවා.

✍️ | Rishie Bro

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here