ඉල්මහ විරුවන්ගේ බලාපොරොත්තු සැබෑ කරන සමාජයක් ඉතා ඉක්මනින් ගොඩනඟමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (13) කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවති 33වන ඉල්මහ විරු සැමරුම අවස්ථාවේ සැමරුම් දේශනය පවත්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“පසුගිය වසර දෙක තුනක කාලයේ අපට මෙහෙම එකතුවෙලා ඉල්මහ විරුවන් සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ. එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1989 නොවැම්බර් 13 වැනිදා අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, අපේ පක්ෂයේ ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු දස දහස් ගණනක් අපෙන් උදුරා ගත් ඉල්මහ විරුවන් සමරන්න අපි එකතු වී සිටිනවා. ඔවුන් අපට අහිමි වුණේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාදීමෙන් පසුවයි. 1965 ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන අවස්ථාවේ ධනේශ්වර ක්‍රමය නයෝජනය කරන ප්‍රභූ පවුල් කිහිපයක් අතේ බලය තියාගෙන සිටියා. අපේ පංතියේ මිනිස්සු ඒ ප්‍රභූ පවුල්වල පක්ෂ තුළට ගොනුවෙලා සිටියා. එදා තිබුණු වමේ පක්ෂ අපේ පංතිය නියෝජනය කරන්න සමත් වුණේ නැහැ. ඒ නිසා මේ පක්ෂයෙ නිර්මාණය කරන්න රෝහණ විජේවීර සහෝදරයත් එක්ක අත්වැල් බැඳගත් පරම්පරාවක් මේ අවසිථාවට සහභාගී වෙනවා. ඉන් පස්සේ 1970 අවසානයේ හිටපු විශාල පිරිසක් වගේම 1989 පස්සේ එකතු වුණු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගිවී සිටිනවා. 1989යේ අපට අහිමි කළ ප්‍රේමණීය සගයන් අපේක්ෂා කළ අරමුණු ජයග්‍රහණය කරවීමේ ගමනට එක්වී සිටින කැපකිරීම් කරන විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා.
අපේ පක්ෂය ආරම්භයේ සිටම මර්දනය කිරීමට එරෙහිව 1971 නැගී සිටීම සිදුවුණා. ඉන් පස්සේ නැවත පක්ෂය ගොඩනඟමින් ක්‍රියාකරන අතර, ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය 1983 අපේ පක්ෂය තහනම් කර, ඒ තහනම ඉවත් නොකර දිගටම මර්දනය ගෙනගියා. 1988-1989 ගැන බොහොම දෙනෙකුට විවේචනයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් 1987-1989 වශයෙන් නිවැරදි විය යුතුයි. අපේ පක්ෂය තහනම් කළත් කිසිකෙනෙකු ආයුධ අතට ගත්තේ නැහැ. ප්රජාතන්ත්රවාදී දේශපාලනයට එන්න අපි දිගටම උත්සාහ කළා. ඒ තත්වය තුළ ඊට ගැලපෙන ලෙස රහසිගතව දේශපාලනය කරන්න අපට සිදුවුණා. ඒ අතර 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර, මාතෘ භූමිය ඉන්දියාවට පාවාදුන් අවස්ථාවේ අවි අතට ගෙන සටන් කරන්න අපට සිදුවුණා. ඒක දේශප්‍රේමී අරගලයක්. විශාල ජනප්‍රසාදයක් තිබුණා. නමුත් එක වෙලාවක සතුරා බලවත් වෙලා, අපේ ප්‍රේමණීය සගයන් අපෙන් උදුරා ගත්තා. 1987-1989 ඉබේ පහළ වුණු එකක් නොවෙයි. ධනපති ආණ්ඩුව හිතාමතාම නිර්මාණය කළ එකක්. අපේ රට ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, බිඳවට්ටා ඉන්දියාව හමුවේ දණින් වැටී පාවාදෙන කොට නිවටයින් ලෙස සිටිනවාට වටා සටන් කොට මිය යන්න සූදානම් කියන අධිෂ්ඨානයෙන් සටන් කළ සගයන් අපි සමරනවා. පරාධීන ලෙස ධනේශ්වර පාලනය තුළ සිටිනවා වෙනුවට අයුක්තිය අසාධාරණය ඉදිරියේ දණින් නොවැටී සටන් කළ යුතු බව කියාදුන් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පුරෝගාමි කණ්ඩායමක් අද අපි සමරනවා.
සතුරා දෙපාරක් අවි බලයෙන් අපව විනාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගී සිටීවි කියලා සතුරා විශ්වාස කළේ නැහැ. රංජන් විජේරත්නලා, ආර්. පේමදාසලා වහසි බස් දොඩලා තිබුණා. සතුරාගේ හීන බොඳ කරලා 1994 වෙනකොට දේශපාලනයට ඇතුල් වෙලා අද දක්වා පැමිණි ගමනක් තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායම නිර්මාණය කළේ එවැනි පක්ෂයක්. පසුබසින, තමන්ගේ අරමුණ අත්හරින පක්ෂයක් නොවෙයි ඔවුන් නිර්මාණය කළේ. අධ්‍යාපනයෙන්, ආදර්ශයෙන්, කැපකිරීම්වලින් ඕනෑම දුෂ්කරතාවයක් මැද නතර නොවී ඉදිරියට යන පක්ෂයක් ඔවුන් නිර්මාණය කරදී තිබෙනවා. අද සිදුවී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අවසානය ප්‍රාර්ථනා කළ අයට ධනේශ්වර කඳවුරේ පක්ෂවල අවසානය දැකගැනීමටයි. කෝටි දෙකකට ටිකක් වැඩි ජනතාවට කන්න දෙන්න බැරි තත්වයකට රට වට්ටලා තිබෙන්නේ. දරුවන්ට ආහාර, අධ්‍යාපනය, දෙන්න බැරි රෝහලේ බෙහෙත් නැති තත්වයක් කියන්නේ ධනේශ්වර ක්‍රමය මැරිලා කියන එක. මේක නැවත ගොඩගන්න බැහැ. ධනේශ්වර ආර්ථික ක්‍රමයට ප්‍රශ්න විසඳන්න බැරි බව මේ ක්‍රමය වෙනස් කරලා රට ගොඩගත යුතු බව 1965 ඉඳලා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පිරිස අපට ඉගැන්වුවා. රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා තියාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ මොන ආයතනය ආවත් මේක ගොඩගන්න බැහැ. මේ ක්‍රමයෙන් රට ගොඩගන්න පැලැස්තරවලට බැහැ.
ලෙනින් සහෝදරයා එකවරක් කියා තිබෙනවා “ධනවාදයේ අර්බුදයෙන් මිදීමට ධනපති පංතිය දරන උත්සාහය වූ කලී තමන්ගේ සපත්තුවේ පටිවලින් ඇද, තමන්ව ඔසවා ගැනීමට දරන උත්සාහයක් ” බව. අපි උත්සාහ කළේ මේ ක්‍රමයට අනුගත වෙමින් දේශපාලනය කිරීමට නොවේ, මේ ක්‍රමය වෙනස් කරන්නයි. සමාජ පරිවර්තනයක් සිදුකළ යුතුයි කියන පාඩම අපට ඉගැන්වුවේ රෝහණ විජේවීර සහෝදරයා ප්රමුඛ අපේ නායකයන්. ධනවාදය මිය ගිය මළකුණක්. ඒ මළකුණට එම්බාම් ගහලා මාස දෙක තුනක් තියාගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් උත්සාහ කරනවා. කළ යුතුව තිබෙන්නේ මේ මළකුණ වළදාලා සමාජවාදී නව සමාජයක් ගොඩනැගීමයි. පොහොට්ටුවත් එක්ක මහජනතාව නැහැ. ඒ පක්ෂයට බලය දුන් මහජනතාවම අවුරුදු දෙකක් යනවිට පාරට බැහැලා විධායක ජනාධිපතිට රට දාලා යන තැනට කටයුතු සිදුකළා. බිම් මට්ටමේ ජනතාව කිසිකෙනෙක් ඒගොල්ලෝ එක්ක නැහැ. කළුතර, මහනුවර, පුත්තලම දිස්ත්‍රික්කවල මහින්ද සමග නැගිටින රැස්වීම් පැවැත්වූවත් නැවත එවැනි රැස්වීම් තියන්නේ නැහැ. රැස්වීම්වලට සෙනග එන්නේ නැහැ. පොහොට්ටුවේ උඩත් ගැලවිලා තිබෙන්නේ. පක්ෂ එකොළහක් අයින් වුණු බව කියනවා. පක්ෂයේ ඇතුලේ සිටි ඩලස් අලහප්පෙරුම ජී.ඇල්.පීරිස් ඇතුළු දහතුන්දෙනක් කැඩිලා ගියා. තවදුරටත් රාජපක්ෂලාට උඩිනුත් නැති බිමිනුත් නැති පක්ෂයක් බවට පොහොට්ටුව පත්වෙලා ඉවරයි. පොදුවේ ගත්තොත් මෙතෙක් රට පාලනය කළ ධනපති දේශපාලන පක්ෂ සියල්ලම කැඩිලා බිඳිලා තිබෙන්නේ.
ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ අපි අපට එකතු කළ හැකි බලවේග විශාල ප්‍රමාණයක් එකතු කරගෙන පිහිට වූ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දෙස බලාගෙන කටයුතු කරනවා. අපි වසර 50කට වැඩි ගමනක් පැමිණෙන අතරේ මරාදමද්දී පවා අත්නොහැරි අරමුණක් තිබෙනවා. මේ සමාජය වෙනස් කර, අලුත් සමාජයක් බිහි කිරීම පිළිබඳ ප්‍රාර්ථනාව ඉටුකර ගත හැකි සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහා ශක්තිමත් තැනකට ජනතා විමුක්ති පෙරමුණත් ප්රගතිශීලී ව්‍යාපාරත් පැමිණ තිබෙනවා. තිස්තුන්වෙනි ඉල්මහ සමරුව පවත්වෙන්නේ ජයග්‍රහණය පිළිබඳව අචල විශ්වාසයක් සහිතව ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණ තිබෙන අවස්ථාවක. සතුරා කැඩිලා, බිඳිලා දුර්වල වී, භේදබින්න වී, නැවත ඉස්සරහට යාමේ ඉඩක් නැති අවස්ථාවක ජයග්‍රහණය වැඩි ඈතක නොවන බව අපි සහතික කර කියනවා. ප්රගතිශීලී ව්‍යාපාර, වමේ ව්‍යාපාර එකතු වී මේ රටේ අලුත් සමාජයක් බිහිකරන දවසට ඉල්මහ විරුවන් සම්බන්ධයෙන් රටේම ජනතාව ගෞරව කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. අතීතය අයිති සතුරන්ට. අනාගතය අයිති ජනතාවට. අතීතයේ දිනුවේ සතුරන්. අනාගතය දිනන්නේ පොදු ජනතාව. ඒ වෙනුවෙන් ඉල්මහ විරුවන්ගේ අත්දැකීම් අපට වැදගත් වෙනවා. අපි ගොඩනඟන අලුත් සමාජයේ තිබෙන ගුණාංග අපේ ව්‍යාපාරය තුළ තිබෙන්න ඕනෑ. ඒ ආදර්ශ, ඒ ඉගෙන ගැනීම්, අපට තිබෙන්නේ ඉල්මහ විරුවන්ගෙන් ලබාගන්නයි.
අපේ සමස්ත සමාජය ආත්මාර්ථයට ගෙනගොස් තිබෙන අතර, ආත්මාර්ථයෙන් තොර සමාජයක් ගොඩනැගිම අපේ අරමුණයි. අනෙකා ගැන නොසිතන, තනිවම ජීවත්වෙන තමන් ගැන පමණක් සිතා ආත්මාර්තකාමී තත්වයට ජනතාව පත්කර තිබෙනවා. ඒක ජනතාවගේ වරදක් නොවෙයි. ඒ වෙනුවට සාමූහිකත්වය, සහෝදරත්වය, සමගිය, තිබෙන සමාජයක් අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා හොඳම ආදර්ශ 1988-1989 වසරේ දිවිපිදූ සහෝදරවරුන් ලබාදී තිබෙනවා. අනිත් හැමෝටම වඩා හොඳ පෞද්ගලික ජීවිතයක් ගෙනයාමේ හැකියාව ඔවුන්ට තිබුණා. නමුත් ඔවුන්ගේ ජීවිත පොදු අරමුණු වෙනුවෙන් කැපකළා. අප හදන්න ඕනෑ ඒ වගේ සමාජයක්. අපි ඔක්කොම අත්වැල් බැඳගෙන දිනන්න ඕනෑ. අපේ පංතිය දිනන්න ඕනෑ. අද දේශපාලනය කියන්නේ ලාභ ලැබීම අරමුණ කරගත්, බඩවැඩීම අරමුණු කරගත්, මජර දේශපාලන සංස්කෘතියක්. එය වෙනස්කර, මහජන ව්‍යාපාරයක් බවට දේශපාලනය පරිවර්තනය කරන ව්‍යාපාරයක් අපි ගොඩනඟනවා. ඒ වගේම මානව ප්‍රේමය සහිතව, මිනිසුන්ට ආදරය කරන සමාජයක් හදන්න ඕනෑ. ඉන්දියානු හමුදාව මේ රටට ගොඩබැහැලා, ආක්‍රමණය කරන කොට තමන්ගේ ජනතාවට තිබුණු අසීමිත ආදරය නිසා ජීවිත පරිත්‍යාගයෙන් එදා කටයුතු කළා. වේදනාවෙන් පෙළුණු, දෑසේ කඳුළුවලින් තෙත් වුණු මිනිසුන් වෙනුවෙන් වඩා හොඳ රටක් නිර්මාණය කිරීමේ මානව ප්‍රේමය ඉල්මහ විරුවන් අපේ වව්යාපාරයට ලබාදී තිබෙනවා. ඒ වගේම රෝහණ සහෝදරයා අපට ඉගැන්වුවේ අනුගාමිකයන් වෙන්න නොවෙයි. අවබෝධයෙන්, දැනුමෙන් අධ්‍යාපනයක් හඳුන්වා දීලා නායකයින්ගේ මට්ටමට සාමාජිකයන් ගොඩනඟන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කර දී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රජාතන්ත්රවාදය නැති බව කෙනෙක් කියා තිබුණා. හැමෝම එක කතාවක් කියන එක හොඳ නැතිලු. වෙන පක්ෂ වගේ විවිධ කතා නොකීම ප්රජාතන්ත්රවාදය නැතිකමක් හැටියටයි කියලා තිබුණේ. නමුත් ඇත්ත ඒක නොවෙයි. අවස්ථාවාදීන් රංචු ගැසුණාම එක එක්කෙනා එක එක කතා කියනවා. ආණ්ඩුවට කෙළවෙලා තිබෙන්නෙත් එක කතාවක් නැති නිසයි. නමුත් අපේ අරමුණ එකයි. කාගෙන් ඇසුවත් එකම දේ කියන්නේ ඒ නිසයි. ඕනෑම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු ගොඩක් තිබෙන්න බැහැ. ඒ අනුව ගත්තාම අපි ඔක්කෝම එකයි. ජනතා විමුක්ති පෙරමුණේ රහස ඒකයි. අදූෂිත දේශපාලනඥයන් නිර්මාණය කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි. වසර 50කට වැඩි කාලයක් මේ ගුණාංග රැගෙන යන්න අපට හැකිවී තිබෙනවා. මේ සමාජය වෙනස් කර, අලුත් සමාජයක් හැදීමට ආදර්ශයන් සහ අත්දැකීම් ලබාගන්නා ලෙයින් බැඳුණු සාමූහිකත්වයක් අප තුළ තිබෙනවා. අද මහපොළෙවේ ජනතාව විශ්වාසයෙන් අත්වැල් බැඳ ගන්නා එකම දේශපාලන ව්‍යාපාරය හැටියට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය පත්වී තිබෙන්නේ මේ ගුණාංග නිසා. වෙන කිසිම දේශපාලන පක්ෂයකට ස්වේච්ඡාවෙන් හොඳ අරමුණකින් එකතු කර ගන්න බැහැ. ඒ පක්ෂවලට බලය ඕනෑ හොරකම් කරන්නත් කරපු හොරකම්වලින් බේරිලා ඉන්නත් විතරයි. ඒ බලය නැති වුණොත් හිරගෙවල්වල ඉන්න වෙන බව ඔවුන් දන්නවා. ඒ නිසා අපට විරුද්ධව නොයෙක් කුමන්ත්‍රණ, අවලාද වැඩි වශයෙන් දියත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් ලැබුණු රනිල් වික්‍රමසිංහට මේ දැවැන්ත ජනතා බලවේගය නවත්වන්න බැහැ. පොහොට්ටුවටත් බැහැ. ඒ නිසා බලයේ ඉන්න අයත් තට්ටු මාරු ක්‍රමයට බලයට එන්න බලා සිටි අයත් එකවිදිහටම අවලාද නගනවා.
මේ ක්‍රමය රකින උන් එක්ක නොවෙයි මේ ක්‍රමය වෙනස් කරන්න පෙළ ගැසෙන උන් එක්ක විතරයි අපට දේශපාලන ගමනක් තිබෙන්නේ. පරණ අවලාද අලුත් කරලා ගේන්න පටන්ගෙන තිබෙන්නේ ඒ නිසයි. දේශපාලනයේදී මොළේ පාවිච්චි කරනවා වෙනුවට ශරීරයේ වෙනත් ඉන්ද්රියයන් පාවිච්චි කරන අය අපට අවලාද නගනවා. අවලාදවලට අපි හැපෙන්න යන්නේ නැහැ. අත්‍යවශ්‍ය වුණොත් විතරක් උත්තරයක් දෙනවා. ලෝක ඉතිහාසයේ වමේ ව්‍යාපාරවලටත්, අපේ පක්ෂයේ ඉතිහාසයේත් අවලාද ගොඩකට මුහුණ දුන්නා. රෝහණ සහෝදරයා උලපනේ සිටිද්දී, තමිල්නාඩුවේ කොටි කඳවුරක සැඟවී සිටින බවට සමහර ජාතික පුවත්පත් අවලාද ගහලා තිබුණා. අපේ අඩුවක් තිබෙනවා නම්, නිහතමානීව බාරගෙන හදාගන්න අපි ලැහැස්තියි. අවලාද කියන්නේ ජනතාව අප කෙරෙහි කළකිරවන්න කරන ප්‍රචාරයි. ඔබ ඇති තරම් අවලාද ගහන්න. අපි අපට කරන්න පැවරී තිබෙන මව්බිම ගොඩනැගීමේ කාර්යය කරගන යනවා. 71කේ අරගලයේදී සිරගත කළ අපේ සහෝදරයෙක් ලියලා තිබුණු කවියක් අවලාද සම්බන්ධයෙන් මට මතක් වෙනවා.
ගමන යන මඟ තිබේ හෙළි වී අදිරදේ මර ගී ගැයෙද්දී
සටන මොටකොට වලක්වන්නට ඇතැම් අය මග අවුරවද්දී
ගැයෙන නිවහල් ගීතිකාවෙන් සහස් දන කැල පිබිද එද්දී
බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි යමු පෙරට ඇද්දී
ජනතා විමුක්ති පෙරමුණට මොකක් හරි කරලා බලය ගන්න උවමනාවක් නොවෙයි අපට තිබෙන්නේ. අපට ඕනෙ ආණ්ඩුවක් අටවන්න නොවෙයි. මහජනතාව බලයේ පංගුකාරයන් බවට පත්වෙන මහජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි. ඒ ආණ්ඩුව හදන්නෙත් මහජනතාව, ඒ ආණ්ඩුව රකින්නෙත් මහජනතාව. මහජනතාව හදන, මහජනතාව රකින ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න පුළුවන් ජගතෙක් ලෝකයේ බිහිවෙලා නැහැ. අපි එවැනි ආණ්ඩුවක් හදමු. ඒ මහජනතාව එක්ක එකතුවෙලා රට හදමු. වසර 74ක් විවිධ දේශපාලන පක්ෂවලට ඡන්දය දීලා කළකිරුණු ජනතාව අපි දිනාගන්න ඕනෑ. සතුරන් වෙනුවට මිතුරන් දිනාගන්න, කලින් මොන පක්ෂයේ සිටියත් පීඩාවට පත්වුණු මිනිසුන් දිනාගන්න, කලින් රැවටීමට ලක්වූ මිනිසුන් දිනාගැනීමේ ව්‍යායාමය තවත් ධෛර්යයෙන් ඉදිරියට ගෙන යා යුතුයි. ජනවරමක් නැති ජනාධිපති සහ ආණ්ඩුව ඡන්දය කල්දාන්න ගෙනයන උපක්රමයට අපි අභියෝග කරන්න ඕනෑ. මාර්තු මාසයේ ඡන්දය නොතිව්වොත් මේ රටේ මහජනතාව තමන්ගේ අයිතිය ලබාගන්න ආපහු මහපාරට එනවා. සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක නායකත්වයෙන් ඒ ජනතාව ජයග්‍රහණය කරා යනවා. පසුගිය සටන්වල සිටි අවංක සියලු දෙනා අපි එකතු කරමු. අත්දැකීම් ලබාගමු. සතුරන් හරියට තේරුම් ගනිමු. කඩාකප්පල්කාරයන් හඳුනා ගනිමු. ප්රගතිශීලී බලවේග සියල්ල එකතු කර රනිල්ලා, රාජපක්ෂලා ඇතුළු ධනපති ක්‍රමය ඉවත් කර, අපේ දෑත්වලින් මේ රට ගොඩනඟමු. අපේ විරු සගයන් හදවතින් අපේක්ෂා කළ, රට ගොඩනඟමු.
අපේ රටේ ප්රගතිශීලී කවියෙක් වන රත්න ශ්‍රී විජේසිංහ ‘එරබදු’ කියලා කවි පංතියක් ලීව්වා. ඒ කවි පංතියේ අවසන් කවිය අපි මතක් කර ගනිමු.
ඉතිං යහළුවනේ මල් පිපුණොත් ගසක
සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක
සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගණයට රොද බැඳ හනික
හතරවටේම මල් පිපිලා තිබෙන්නේ. උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් මල් පිපිලා තියෙන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑමදෙනාම එකට එකතු වී ඒ මල් පරාගනය කරන්න ඕනෑ. ඒ සඳහා මියගිය අපේ සහෝදරවරුන් ළඟ තිබුණු හොඳම ගුණාංග, මල්වල මුදුමෙලෙක, අරගනිමු. ඉල්මහ විරුවන්ගේ බලාපොරොත්තු සැබෑ කරන සමාජයක් ඉතා ඉක්මනින් මේ රටේ ගොඩනඟමු. සතුරන්ට පරාජය කළ නොහැකි මහජන ව්‍යාපාරයක් ගොඩනඟමු.”











