රාජිත ඇමැතිකමක් අරන් ආණ්ඩුවට යනවාද?
එදා වගේම මාධ්‍ය රටම රවට්ටන හැටි!
මාධ්‍ය හෙළුව හෙළිකරන්න බැරි කොන්දක් නැති විපක්ෂය!
අලුත් වටයකින් පටන් ගත් රනිල්-නන්දලාල් ගැටුම!
මේ පාර එන්නෙ බදු අයවැයක්?
2023 වසර සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන සතියේදීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මාස කිහිපයක් සඳහා අතුරු අයවැයක් හඳුන්වා දුන් නමුත් නිශ්චිත වසරක් සඳහා අයවැයක් ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වන බැවින් ජනාධිපතිවරයාගේ පළමු පූර්ණ අයවැය ලෙස මෙය සැලකුවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. කෙසේ වෙතත් බොහෝ දෙනා කල් තියාම සඳහන් කරන්නේ උග්‍ර ආර්ථික අර්බුදයක රට සිරවී ඇති නිසාත්, ආණ්ඩුවේ ආදායම් වර්ධනය කරගත යුතු නිසාත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකිරීම අවශ්‍ය නිසාත් ජනතාව පිට බදු පිට බදු පැටවෙන අයවැයක් මෙවර ඉදිරිපත් විය හැකි බවකි.
පොහොට්ටුව කරන්න යන දේ!
කෙසේ වෙතත් පොහොට්ටුවේ සහයෝගයෙන් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගත්තද අයවැය ඉලක්ක කරගෙන පොහොට්ටුව යම් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන ආකාරය පසුගිය සතියේ අපි මෙම තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ පොහොට්ටුව ඉල්ලා සිටි අමාත්‍ය ධුර නොලැබෙන්නේ නම් ආණ්ඩුවේ තෝරාගත් අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ වැය ශීර්ෂ පරාජය කිරීමට පොහොට්ටුව සැලසුම් කරමින් සිටින බවත්, ඒ සඳහා එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් ආරම්භ වී ඇති බවත්ය.
රනිල් බැසිල්ට තියපු පණිවුඩය!
පොහොට්ටුව මේ ඇමැති ධුර තමන්ට හිමිවිය යුතු බව රනිල්ට දැනුම්දී සිටියේ මීට මාසයකට පමණ ඉහතදීය. ඒ, පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පෙරාතුවය. එහිදී බැසිල්, රනිල්ට ලිපියක් මාර්ගයෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ නම් 12ක් යොමුකරමින් ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදිය යුතු බව දැනුම්දී සිටියේය. නමුත් රනිල් බැසිල්ගේ එම නම් ලැයිස්තුවට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසා අමාත්‍ය ධුර ලබාදීමට කල් මරමින් සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් අයවැය ඉලක්ක කරගෙන මෙහෙයුමක් දියත් කිරීමට පොහොට්ටුව සැලසුම් කරමින් සිටින බව වාර්තා වීමත් සමග රනිල් පසුගිය සතියේ ඣඡ 27 සමුළුව සඳහා ඊජිප්තුව බලා පිටත්ව යෑමට ප්‍රථම ඇමෙරිකාවේ සිටින බැසිල් වෙත පණිවුඩයක් තැබීමට පියවර ගත්තේය. එම පණිවුඩයෙන් රනිල් බැසිල්ට දැනුම් දුන්නේ තමන්ගේ ඊජිප්තු ගමනින් පසු ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට තමන් සූදානමින් සිටින බවත්, එවා ඇති නම් ලැයිස්තුවෙන් සියල්ලන්ටම නොව ප්‍රධාන කිහිප දෙනකුට ඇමැති තනතුර ලබාදීමට තමන් සූදානම් බවත්ය. එහිදී රත්නපුර, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ නම් සඳහන් කිරීමටද රනිල් එහිදී පියවර ගෙන තිබිණි.
පොහොට්ටුව ඇතුළේ ගැටුමක්!
කෙසේ වෙතත් රනිල්ගේ මේ ප්‍රතිචාරයට බැසිල් එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැත. ඒ අනුව බැසිල් එම පිළිතුරට ප්‍රතිචාර දක්වමින් නැවත වතාවක් රනිල්ට දැනුම් දී සිටියේ එසේ නොකරන ලෙසත්, කොටසකට පමණක් අමාත්‍ය ධුර ලබාදුනහොත් පොහොට්ටුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය විය හැකි බවත්ය. නමුත් රනිල් ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවක් දැකගන්නට තිබේ.
සාගරගෙන් බැසිල්ට කෝල් එකක්!
මේ අතර පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හා බැසිල් අතර සංවාදයක් පසුගිය සතියේ පැවැත්විණි. එහිදී සාගර බැසිල්ගෙන් පොහොට්ටුවේ අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් විමසා සිටීමට පියවර ගත්තේය. මෙහිදී බැසිල් අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳ අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. මේ සිදුවීම මුල් කරගෙන අයවැයේදී ඇතැම් ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂයන් පරාජයට පත්කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සැලසුම් කරමින් සිටින බවට සාගර බැසිල්ට දැනුම් දී සිටියත් බැසිල් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් සඳහන් කිරීමට පියවර ගත්තේ නැත. නමුත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නම් බැසිල් පොහොට්ටුව ගත යුතු ස්ථාවරය පිළිබඳ නිශ්චිතවම සාගරට දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී බැසිල් කියා සිටියේ පොහොට්ටුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් දැඩිව පෙනී සිටිය යුතු බවත්, දැනට මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ආණ්ඩුවට රට තුළ නොමැති බවත්ය. එමෙන්ම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ විගස තමන් ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණ මැතිවරණ ව්‍යාපාරයට සම්පූර්ණ නායකත්වය ලබාදෙන බවත් බැසිල් සාගරට දැනුම්දී සිටියේය. සාගර පසුගිය සතියේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටුවට ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියේ බැසිල් සමග සිදුකළ මෙම සාකච්ඡාවෙන් අනතුරුවය.
ආණ්ඩුව පරණ පුරුදු සෙල්ලමේ! නිව්ස් ප්ලාන්ට් කරයි!
ඒ අතරවාරයේ අයවැයේ යම් යම් වැය ශීර්ෂ පරාජයට පත්කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානම් වන බවට වාර්තා වීමත් සමග ආණ්ඩුව පැත්තෙන් යළිත් වතාවක් දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කරමින් විපක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරුන් රැසක් එක්වීමට සූදානමින් සිටින බවට ප්‍රචාරය කිරීමට පටන්ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ආණ්ඩුව මේ ආකාරයට විපක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් එක්වන බවට මාධ්‍ය වාර්තා ‘පැළ’ කළ, එසේත් නැත්නම් ‘ප්ලාන්ට්’ කළ පළමු අවස්ථාව මෙය නොවේ. රනිල් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු කැබිනට් මණ්ඩලය පත්කරද්දීත් රටේ ප්‍රධාන මාධ්‍ය සියල්ලම එකතු කරගෙන විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට එක්වන බවට පුවත් පැළ කිරීමට එදා ආණ්ඩුව පියවර ගත්තේය. ‘දෙරණ’, ‘ලංකාදීප’ වැනි මාධ්‍ය උපයෝගී කරගෙන මෙම ප්‍රචාරය ගෙන යෑමට ආණ්ඩුව පියවර ගත් අතර වරෙක ‘දෙරණ’ මාධ්‍ය ජාලයට අයත් ‘අරුණ’ පුවත්පතේ මුල් පිටුවේම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමද සඳහන් කරමින් සජබ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට එක්වන බව වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ඊට පසුදිනම රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් එම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, තමන් හෝ සජබ මන්ත්‍රීවරුන් කිසිවෙක් ආණ්ඩුවට හෝ ඇමැති මණ්ඩලයට එක් නොවන බව දැනුම් දී සිටියේය. ඒ අනුව සජබෙන් 10ක් එනවා, සජබෙන් 20ක් එනවා යැයි කියමින් මාධ්‍ය කිහිපයක් අල්ලාගෙන ආණ්ඩුව ගෙනගිය මාධ්‍ය මෙහෙයුම පුස්සක් බවට පත්විය. ආණ්ඩුවට කඩේ ගිය මාධ්‍යයට අවසානයේදී සිදුවූයේ රෙදි ගලවාගෙන හෙළුවෙන් සිටින්නටය.
විපක්ෂයෙන් දහතුනක් ආණ්ඩුවට?
ඒ ආකාරයටම යමින් අයවැය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මේ මොහොතේද පෙර සඳහන් කළ මාධ්‍ය කිහිපයම ප්‍රධානත්වය ගනිමින් නැවත වතාවක් විපක්ෂයේ මන්ත්‍රීවරු, ආණ්ඩුවට එක්වීමට සූදානම් බවට පුවත් පළකරන ආකාරයක් පසුගිය සතියේදී දැකගත හැකි විය. ඒ අනුව එම මාධ්‍ය ආයතන පමණක් නොව ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි රැසක්ද පසුගිය සතියේ වාර්තා කොට තිබුණේ අයවැයේදී ‘ආණ්ඩුවට විපක්ෂයෙන් 9 දෙනකු එනවා’, ‘13 දෙනකු එනවා’ වැනි පුවත්ය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ මෙම පුවත්වලට කිසිදු වගකිව යුතු පුද්ගලයකු නොසිටීමය. පුවත තහවුරු කරගත් මූලාශ්‍රයක් නොතිබීමය. දෙරණ ඇතුළු සියලු මාධ්‍ය එම පුවත වාර්තා කොට තිබුණේ ‘ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි’ වැනි තහවුරු කොට නොගත් වගකීමක් රහිත ආකාරයටය.
රාජිත ආණ්ඩුවට පනීද?
කෙසේ වෙතත් බෙහෝ දෙනා මෙම පුවත පළවීමත් සමග ඒ සම්බන්ධයෙන් විමසීම් කරද්දී බොහෝ දුරට රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එකතු වීමේ සූදානමක් ඇති බවට තොරතුරු ඇති බව කියවිණ. ඊට හේතුවී ඇත්තේ පසුගිය කාලය පුරාම පැවැති යම් යම් සාකච්ඡාවලදී රාජිතත්, ඔහුගේ පුත් චතුර සේනාරත්නත් ආණ්ඩුවට එක්විය යුතු බවට වූ ස්ථාවරයක සිටිමින් අදහස් පළකර තිබීමය. එය නැවතත් තහවුරු වූයේ පසුගිය සතියේදී රාජිත විසින් රනිල් සහ ඔහුගේ වැඩපිළිවෙළ අගය කරමින් අදහස් පළකිරීමත් සමගය. එහිදී රාජිත කියා සිටියේ රනිල් රටට ලොකු සේවයක් කරමින් සිටින බවත්, තමන්ටද අමාත්‍ය ධුරයක් භාරගන්නා ලෙසට ආරාධනා කර ඇති බවත්, ඕනෑම වෙලාවක තමන්ට ඇමැති ධූරයක් ලබා ගත හැකි බවත්ය.
තනියම නම් ගන්න එපා!
කෙසේ වෙතත් රාජිත මේ ආකාරයෙන් ප්‍රකාශ කළත් රාජිතට ඇමැතිකම් දී ආණ්ඩුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පැනනැගී ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එහිදී බොහෝ පිරිස් රනිල්ගෙන් ප්‍රශ්න කොට ඇත්තේ මේ මොහොතේදී රාජිත ගැනීමෙන් ආණ්ඩුවට වාසියක් අත්වනු ඇතිද කියාය. ඔවුන් රනිල්ට පෙන්වා දී ඇත්තේ රාජිත ගැනීමෙන් ආණ්ඩුවට අවාසි වනු ඇති බවත්, ඒ හරහා සජබය සුද්ද පවිත්‍ර වී අලුත් මුහුණු ඇති පක්ෂයක් බවට සජබය පත්වනු ඇති බවත්ය. රාජිත ගන්නවා නම් තනිවම නොගන්නා ලෙසත්, තවත් සජබ මන්ත්‍රීවරුන් හය හත් දෙනකු සමග රාජිත ගතහොත් ආණ්ඩුවට වාසිසහගත වනු ඇති බවත් එහිදී එම මන්ත්‍රීවරුන් රනිල්ට දැනුම්දී තිබේ. එසේ නොවුණහොත් රාජිත ආණ්ඩුවට ගැනීම ආණ්ඩුවට අවාසිසහගත වනු ඇති බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බව පැවසේ.
රාජිත ගැන සජිත්ට කියපු කතා!
බහුතරයක් දෙනා රාජිත පිළිබඳ රනිල්ට මෙසේ කියද්දී ඉතා සුළු පිරිසක් පමණක් රාජිත නොව විපක්ෂයෙන් එන්න සිටින ඕනෑම අයකු මේ වෙලාවේ ඇමැතිකම් දී ආණ්ඩුවට එක් කරගන්නා ලෙස රනිල්ට දැනුම්දී ඇති බවත් ආරංචිය. රාජිතට කුමන චෝදනා තිබුණත්, රට ඇතුළේ යම් අප්‍රසාදයක් තිබුණත් මේ අවස්ථාවේ එක් අයකු හෝ විපක්ෂයෙන් ආණ්ඩුවට එක්කර ගැනීම ආණ්ඩුවට වාසියක් බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි. නමුත් මෙසේ කී පිරිස ඉතා අඩු බවද දැකගත හැකි විය.
යනවා නම් යන්න දෙන්න! අපිට වාසියි!
මේ ආකාරයට රාජිත සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කටකතා යද්දී සජබ තරුණ මන්ත්‍රීවරුන් අතරද මේ පිළිබඳ යම් කැලඹීමක් හටගෙන තිබිණි. ඒ පිළිබඳ සොයද්දී ඔවුන්ට දැනගන්නට ලැබුණ් සජිත්ද රාජිත තවදුරටත් පක්ෂය ඇතුළේ තබාගැනීමට උත්සාහ දරන ආකාරයකි. ඒ අනුව පසුගිය සතියේදී සජිත් හමුවූ මෙම තරුණ මන්ත්‍රීවරුන් දැනු ම්දී සිටියේ රාජිත ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට යනවා නම් යන්න දෙන ලෙසත්, ඔහු තවදුරටත් පක්ෂයේ තබාගැනීමට උත්සාහ නොකරන ලෙසත්ය. රාජිත ආණ්ඩුවට එක්වීම සජබයට වාසියක් බවද මෙම තරුණ මන්ත්‍රීවරු සජිත්ට පෙන්වා දුන්හ. ඒ අනුව සජිත්ද පසුව මේ පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම සමග සාකච්ඡා කළ අතර ඔවුන්ද සජිත්ට දැනුම් දී සිටියේ රාජිත ආණ්ඩුවට එකතු වුණා කියා පක්ෂයට අවාසියක් නැතැයි කියාය. ඒ අනුව දැනට ඇති තත්ත්වය මත බොහෝ දුරට රාජිත ආණ්ඩුවට එකතු වීමට ඉඩ ඇති බවක් දැනගන්නට ඇත.
මාධ්‍ය ගහපු අතේ රෝල්!
කෙසේ වෙතත් මෙහිදී බොහෝ දෙනාට මතුව ඇති ප්‍රශ්නයක් වන්නේ දෙරණ හෝ ලංකාදීපය හෝ අනෙකුත් වෙබ් අඩවි කියන ආකාරයට 13ක් හෝ 9ක් හෝ ආණ්ඩුවට එක්වනු ඇද්ද යන්න පිළිබඳවය. රනිල් ජනාධිපතිවරයා ලෙස පත්වී කැබිනට් මණ්ඩලය පත්කරද්දීත් මේ ආකාරයටම යම් යම් මාධ්‍ය විපක්ෂයේ 15ක් 20ක් ආණ්ඩුවට එක්වන බව කියමින් නම්ගම් සහිතවම අසත්‍ය පුවත් වාර්තා කිරීමට පියවර ගත්තේය. නමුත් මේ කියන මාධ්‍ය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නිසාම රටේ ජනතාවත් එදා මේ මාධ්‍ය කී කතා විශ්වාස කරමින් විපක්ෂයෙන් 20ක් ආණ්ඩුවට එක්වනු ඇති බව සිතූහ. නමුත් විපක්ෂයෙන් එක් අයකුවත් ආණ්ඩුවට ගියේ නැත. එහිදී සිදුවූයේ ආණ්ඩුවේ කුණු කොන්ත්‍රාත් ඉටුකිරීමට ගොස් මාධ්‍ය පිළිබඳ ජනතාව අතර තිබූ විශ්වසනීය බව බිඳී යෑම පමණි. එසේත් නැතිනම් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී නාග ලෝකයෙන් ආ නයි පෙන්වමින් ජනතාවට කළ බොරුව තවදුරටත් තහවුරු වීම පමණි.
පච මාධ්‍යට ගහන්න විපක්ෂයට කොන්දක් නැද්ද?
එමෙන්ම රටේම ජනතාව මුලා කරමින් මාධ්‍ය කිහිපයක් එක්ව කරන මේ පට්ටපල් බොරුව රටට හෙළිකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද කොන්දක් තිබිය යුතුය. මාධ්‍ය මේ කරන බොරුව හරහා මාධ්‍යයට පමණක් නොව රටටම වන විනාශය හෙළිදරව් කිරීමට විපක්ෂයට හැකියාවක් තිබිය යුතුයව. විපක්ෂය එම වගකීම ඉටුකරන්නේ නැති නම් වගකිව යුතු මාධ්‍යයක් ලෙස එම වගකීම ඉටු කිරීමට අප සූදානම්ය. ඒ සඳහා කුමන අවදානමක් හෝ ගැනීමටද අප සූදානම්ය. ඒ අනුව පසුගිය කාලයේදී මේ රටට ඇත්ත කියනවා යැයි කියන මාධ්‍ය රටට කී බොරු එකින් එක උදාහරණ සහිතව හෙළිකිරීමට අප සූදානම්ය. ඒ වෙන මොකවත් නිසා නොව මාධ්‍ය පිළිබඳ ජනතාව අතර යළි විශ්වාසය තහවුරු කළ යුතුව වීම නිසාත්, ඇත්ත මාධ්‍ය අතර බොරු කියන මාධ්‍ය පිළිබඳ මේ රටේ ජනතාව දැනගත යුතු වීම නිසාත්ය.
ගෝඨා මහින්දගේ ගෙදරට යයි
රාජපක්ෂ පවුල තුළ සිදුවූ බරපතළ පිපිරීමක් පිළිබඳ පසුගිය සතියේ අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියෙමු. එහිදී අප කියා සිටියේ 22 වැනි සංශෝධනය මුල් කරගෙන රාජපක්ෂ පවුලේ බරපතළ බෙදීම් මතුව ඇති බවත්, බැසිල් ඇතුළු පොහොට්ටුවේ බැසිල් පිල ඊට විරෝධය පළ කරද්දී චමල්, ශෂීන්ද්‍ර සහ නාමල් ඊට පක්ෂව ඡන්දය ලබාදුන් බවත්ය. එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයද ඊට හිමිව තිබූ බව අපි එහිදී සඳහන් කළෙමු.
දැන් මිලියන 800ත් පනිනවා!
ඒ අනුව 22 වැනි සංශෝධනය සම්මත වී දින කිහිපයකට පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරා වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිල නිවෙසට ගියේය. වෙනදා මහින්ද විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසක පදිංචිව සිටියද මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන නිසා මේ වන විට මහින්ද ඇතුළු පවුල රැඳී සිටින්නේ බුලර්ස් පාරේ පිහිටි තවත් නිල නිවෙසකය. විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 400කට අධික මුදලක් ඉල්ලා ගෝඨාගේ සමයේ මහින්ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද, ගෝඨා ඊට සිය එකඟතාව ලබා දී තිබුණේ නැත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසුව මෙම කැබිනට් පත්‍රිකාව යළිත් ඉදිරිපත් කෙරුණු අතර රනිල් එය සම්මත කර දීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව මේ වන විට විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස අලුත්වැඩියා කෙරෙමින් පවතින අතර එහි මහින්දගේ දරු මුණුබුරන්ටද වාසය කළ හැකි ලෙස වෙනම ගොඩනැගිලි ඉදිවෙමින් පවතින ආකාරයක් දැනගන්නට ඇත. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට ඒ අවස්ථාවේදී මිලියන 400කට අධික මුදලක් වෙන් කළද අද වන විට පවතින මිල ඉහළ යෑම හමුවේ එම මුදල මිලියන 800ද ඉක්මවා යනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත.
මහින්ද ගෝඨාගෙන් අහපු එකම දේ!
කෙසේ වෙතත් ගෝඨා මහින්දව මුණගැසීමට යෑමෙන් පසු දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් සිදුවන ආකාරයක් දැකගත හැකි විය. මෙම සාකච්ඡාව ආරම්භ වී මොහොතක් යද්දී ගෝඨා මහින්ද මුණගැසීමට ආ හේතුව අනාවරණය කිරීමට පියවර ගත්තේය. ඒ, දැනට මහින්ද රැඳී සිටින නිල නිවෙස තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටීමටය. මේ වන විට ගෝඨා මලලසේකර මාවතේ මහාමාර්ගය අද්දරටම වන්නට ඇති සුවිසල් නිල නිවෙසක ජීවත් වුවද නිතරම වාහනවල ශබ්දය ඇසීමත්, ඊට යාබදව පිහිටි බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ඇති ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ ඇසීමත් නිසා ගෝඨාට එය මහත් බාධාවක් වී තිබිණි. ඒ අනුව පසුගිය කාලය පුරාම ගෝඨා මහින්දටත්, රනිල්ටත් දැනුම්දී සිටියේ තමන්ට වෙනත් නිල නිවෙසක් ලබාදෙන ලෙසටය. විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස අලුත්වැඩියා කිරීමෙන් පසු මහින්ද එහි පදිංචියට ගිය විට බුලර්ස් පාරේ මහින්ද දැනට රැඳී සිටින නිවෙස හිස් වන නිසා එය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ගෝඨාගේ මෙ ගමනේ අරමුණ වී තිබිණ. ඒ අනුව ගෝඨා මේ ප්රශ්නය පිළිබඳ මහින්ද සමග කතා කරද්දී ඊට කිසිදු පිළිතුරක් නොදී මහින්ද එය අසා සිටි ආකාරයක් පළමුව දැකගන්නට ලැබිණි. අවසානයේ ගෝඨා කතා කොට අවසන් ව පසු මහින්ද ගෝඨාගෙන් අසා සිටියේ එකම එක ප්‍රශ්නයක් පමණි. ඒ, ‘ඔයා දැන් කවද්ද ඇමෙරිකා යන්නේ?’ යැයි කියාය. මේ හරහා මහින්ද ගෝඨාට නොකියා කියා තිබුණේ අලුත් ගෙවල් හොයන වැඩේ පසෙක තබා ඇමෙරිකාවට යන්නට කටයුතු කරන ලෙසටය. එය ගෝඨා තේරුම් ගත්තාද, නැද්ද යන්න පැහැදිලි නැති නමුත් ගෝඨා ඊට පිළිතුරු ලෙස කියා ඇත්තේ යම් යම් ගැටලු කිහිපයක් ඒ සම්බන්ධයෙන් පැනනැගී ඇති බවත්, ඒවා නිරාකරණය වූ වහා තමන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට කටයුතු කරන බවත්ය.
අමෙරිකාවට ගෝඨා යන්න හදන විදිහ!
මීට අමතරව ගෝඨා සම්බන්ධයෙන් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් අමුතුම හෙළිදරව්වක් කිරීමට සූදානම්ය. ඒ, ගෝඨා ඇමෙරිකාව බලා යෑමට ගසා ඇති අලුත්ම තුරුම්පුවක් පිළිබඳවය. මීට පෙර මෙම තීරයෙන්ම පළමු වතාවට රටට විශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ ගෝඨාට ලොස් ඇන්ජලීස් අධිකරණයේ ප්‍රාන්ත නීතිපතිවරයා විසින් මානව හිමිකම් නඩුවක් ගොනුකර ඇති බවකි. ඒ හේතුවෙන් ගෝඨාට ඇමෙරිකාවට ඇතුළු වීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවටද අපි එහිදී සඳහන් කර සිටියෙමු. මීට අමතරව ගෝඨා ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා ග්‍රීන් කාඩ් පහසුකමට මේ වන විට අයැදුම්පත් යොමුකර ඇති අතර, අපට ඇති තොරතුරුවලට අනුව එයද ඇත්තේ හිමි නොවන තැනකය. එම පසුබිම යටතේ ගෝඨාට ඇමෙරිකාවට ඇතුළු වීමට ඉතිරිව ඇත්තේ අවස්ථා කිහිපයක් පමණි. ඉන් එක් අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු ලෙස ඇමෙරිකාවට ඇතුළු වීමය. එවිට බොහෝ දුරට නීත්‍යනුකූල බැඳීම්වලින් මිදීමට ගෝඨාට හැකියාවක් ඇත. ඒ අනුව දැනටමත් ගෝඨා තමන්ට ඇමෙරිකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ධුරය ලබාදෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට තිබේ. දැනට එම ධුරය දරන්නේ හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස් මහතාය. ගෝඨා මෙම ඉල්ලීම ආණ්ඩුව වෙත ඉදිරිපත් කර තිබුණද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් ප්‍රායෝගිකව ගෝඨාගේ එම එල්ලීම ඉටුකළ හැකිද යන්න සම්බන්ධයෙන්ද මේ වන විට පවතින්නේ බරපතළ ගැටලුවකි.
රනිල් නන්දලාල් ගැටුම!
වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය කාලය පුරාම යම්කිසි දේශපාලන ආරෝවක් පැවැති බව අවස්ථා කිහිපයකදීම අපි මෙම තීරය ඔස්සේ අනාවරණ කර සිටියෙමු. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සමයේදී ආර්ථිකය අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බව සිතූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය යථාවත් කිරීම සඳහා භාරදුන්නේ නන්දලාල් වීරසිංහටය. ඒ වන විට නන්දලාල් සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධව කටයුතු කරමින් ඔස්ටේ්රලියාවේය. ගෝඨාගේ ආරාධනාව ලැබීමෙන් පසු එය පිළිගත් නන්දලාල්, වහාම ඔස්ටේ්රලියාවේ සිට පැමිණ මහබැංකු අධිපති ධුරය භාරගැනීමට පියවර ගත්තේය.
නන්දලාල්ට තිබූ විරෝධය ඉවරද?
කෙසේ වෙතත් ජූලි 09 ඇතිවූ කලබලවලින් පසු ආණ්ඩුවේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතා භාරගැනීමත් සමග නන්දලාල්ට රනිල්ගේ ඇති විරෝධය කෙමෙන් කෙමෙන් එළියට එන ආකාරයක් දැකගත හැකි විය. වරක් රනිල් තුන්වැනි පාර්ශ්වයක් ඔස්සේ නන්දලාල් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට පණිවුඩයක් යොමුකොට තිබූ අතර, ගෝඨා ඊට එම පාර්ශ්වය අතේම නැවත පණිවුඩයක් යවමින් තමන් කිසිසේත්ම නන්දලාල් ඉවත් නොකරන බවත්, අවශ්‍ය නම් රනිල්ට ඉවත් විය හැකි බවත් දැනුම්දී සිටියේය. පසුව රනිල් ගෝඨා මුණගැසී මෙම විරෝධය පළකර සිටියත් එහිදීද ගෝඨා ගත්තේ නන්දලාල්ගේ පැත්තය. අවසානයේ ගැටුම උග්‍ර වූයේ නන්දලාල්ට සේවා දිගුවක් ලබාදීමට යෑමේදීය. එම සේවා දිගුව ලබාදීමේදී ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල්ගේද අවසරය ලබාගත යුතු වූ අතර රනිල් එම නිර්දේශය ලබා නොදෙමින් කල් මැරූ බවක් දැකගන්නට ලැබිණි. නමුත් අවසානයේදී ගෝඨාගෙන් එල්ල වූ දැඩි බලපෑම හේතුකොට ගෙන නන්දලාල්ගේ සේවා දිගුවට සිය නිර්දේශය ලබාදීමට රනිල් කටයුතු කළේය.
තාම අළු යට ගිනි පුපුරු!
කෙසේ වෙතත් පසුව රනිල් ජනාධිපති වීමෙන් අනතුරුව නන්දලාල්ට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවූ බැවින් බොහෝ දෙනා සිතා සිටියේ රනිල් සහ නන්දලාල් අතර ගැටුම මේ වන විට අවසන්ව ඇතැයි කියාය. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වන තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ගැටුම තවමත් අවසන්ව නොමැති බවත්, එය අළු යට ගිනි පුපුරු මෙන් මතුවෙමින් ඇති බවත්ය.
අර්ජුන් මහේන්ද්‍රන් එනවාද?
නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් අප මීට සති කිහිපයකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියා සිටියේ රනිල් සිය ජපාන සංචාරය අතරතුරදී සිංගප්පූරුවට ගොස් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමග භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇති බවකි. අප කළ මෙම හෙළිදරව්වෙන් පසු පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රශ්න කිරීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පියවර ගෙන තිබිණි. එහිදී රනිල් මරික්කාර්ට උත්තර දුන්නද එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවක් දැකගන්නට නොලැබිණ.
දුන්නු සහතිකය!
අප දන්නා ආකාරයට මහබැංකු අධිපතිවරයා වශයෙන් රනිල්ට අතිශය සමීපව කටයුතු කළේ අර්ජුන් මහේන්ද්‍රන්ය. එමෙන්ම අර්ජුන් රනිල්ගේ ළඟම විශ්වාසවන්තයකුද විය. ඒ අනුව සිංගප්පූරුවේදී පැවැති නිල නොවන සාකච්ඡාවේදී අර්ජුන් ලංකාවට නොපැමිණ සිංගප්පූරුවේ සිටම ආර්ථිකය ගොඩනැගීමට උදව් කළ හැකි බවට රනිල්ට සහතික වී ඇති බව පැවසේ. මෙය තවමත් කිසිදු පාර්ශ්වයකින් තහවුරු කොට නොමැති එකක් වුවත් දේශපාලන ක්ෂේත්රයේ කෙරෙන කතාබහවලදී ඊට වැඩි අවධානයක් යොමුව ඇති බවක් දැකගන්නට ඇත.
රනිල් නන්දලාල් යළි ගැටුම්!
අනෙක් අතට නැවත වතාවක් රනිල් හා නන්දලාල් අතර ගැටුමක් හටගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සඳහා නන්දලාල් යටතේ පවතින මහබැංකුවෙන් කිසිදු සහායක් නොලැබෙන බවට චෝදනා ඉදිරිපත්ව තිබීමය. බොහෝ දෙනා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මුදල් අමාත්‍යාංශය මගින් යොමුකරනු ලබන යෝජනා මහබැංකුව විසින් ක්‍රියාත්මක නොකොට ඒවා ප්‍රතික්ෂේප කරනවා යැයි කියාය. ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්ටද එය අහිතකර ලෙස බලපානු ඇති බව එම නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද ආරංචිය. එමෙන්ම එජාප ප්‍රබලයන් කිහිප දෙනෙක්ම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ තමන් මීට පෙර ඉටුකරන ලෙස දුන් උපදෙස් කිහිපයක්ම මහබැංකු අධිපතිවරයා විසින් සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් බරපතළ අර්බුද ගණනාවක් මතුව ඇති බවත්ය. ඒ අනුව මේ වන විට මහබැංකු අධිපතිවරයාට එරෙහිව චෝදනා රැසක්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්ව ඇති බවක් දැකගන්නට ඇත.
අයින් වෙන්න බලපෑම්!
ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සිය තනතුරෙන් ඉවත් වන ලෙසට දැනටමත් මහබැංකු අධිපතිවරයාට බලකෙරෙන ආකාරයේ මෙහෙයුම් කිහිපයක්ම ආණ්ඩුව පාර්ශ්වයෙන් දියත් වී ඇති බවකි. මහබැංකු අධිපතිවරයා ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කරන බවට චෝදනා කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බවක්ද දැකගන්නට තිබේ. මීට අමතරව මහබැංකු අධිපතිවරයාට එරෙහිව මාධ්‍ය හරහා මෙහෙයුමක් දියත් කිරීමටත්, තුන්වැනි පාර්ශ්වයන් හරහා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී ප්‍රහාර එල්ල කිරීමටත් මෙහිදී සැලසුම් කර ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් මහබැංකු අධිපතිවරයා තවමත් මෙම බලපෑම්වලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ආරංචිය.
එදා රනිල් බැසිල්ට කළ අභියෝගය!
මේ දිනවල යළිත් වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳවත්, ආණ්ඩුව එම ආයතනය සමග ඇතිකරගෙන ඇති එකඟතාව පිළිබඳවත් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් වාදවිවාදයන් මතුවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදීද මෙවැනිම ආකාරයේ විවාදයක් මතුවිය. ඒ, එවක මුදල් ඇමැතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙනි. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික හමුවකදී එවක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා බැසිල්ගෙන් දීර්ඝව ප්‍රශ්න කරමින් විමසා සිටියේ මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදෙන්නේ කවදාදැයි කියාය. එහිදී රනිල් සහ බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර ඊට එවකදී මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදීමටද පියවර ගෙන තිබිණි. එහිදී රනිල් දැඩිව කියා සිටියේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් දැනගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ලබාදීම ආණ්ඩුවේ වගකීම බවත්ය.
තවමත් ගිවිසුම දීලා නෑ!
එදා රනිල් මන්ත්‍රීවරයකු වශයෙන් එසේ කීවද මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් රනිල් කටයුතු කළද තවමත් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොමැත. අවස්ථා කිහිපයකදීම එය ඉල්ලා විපක්ෂය උද්ඝෝෂණ සිදුකළත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පියවර ගෙන නොමැත.
ගිවිසුම හර්ෂ අතට ඇවිත්!
එසේ තිබියදී පසුගිය සතියේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව විසින් සඟවන මෙම ගිවිසුම සභාවට රැගෙන ඒමට කටයුතු කළේය. එහිදී ගිවිසුම පෙන්වමින් හර්ෂ යම් යම් කරුණු කියද්දී ආණ්ඩුවේ වැඩ බලන මුදල් ඇමැතිවරයා වන රංජිත් සියඹලාපිටිය මහතා දැඩි කලබලයට පත්ව එහි තොරතුරු රටට හෙළිදරව් නොකරන ලෙසත්, ඒ හරහා රටේ යම් කලබලයක් ඇතිවිය හැකි බවත් හර්ෂට ප්‍රකාශ කරනු දැකගත හැකි විය. එහිදී හර්ෂ ද කියා සිටියේ වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් එම ගිවිසුමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවකි. මේ හරහා දැකගන්නට ලැබුණු විශේෂම කාරණාව වූයේ අදාළ ගිවිසුමේ කොන්දේසිවල බරපතළ කරුණු ඇති බවත්, ඒවා හෙළිදරව් වුවහොත් රට ඇතුළේ අර්බුදකාරී වාතාවරණයක් මතුවිය හැකි බවට ආණ්ඩුව සිතා සිටින බවත්ය.
ඊළඟ සැසිය මාර්තුවේ!
කෙසේ වෙතත් මේ වන විට මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් මූලික එකඟතාවක් ඇතිවුවත් තවම ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කර නොමැත. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහහතා වරක් ප්‍රකාශ කර සිටියේ ඒ ගිවිසුම දෙසැම්බරයේ අස්සන් කළ හැකි බවත්, ඒ අනුව දෙසැම්බර් පමණ වන විට මුදල් ලබාගැනීමට හැකිවනු ඇති බවත්ය. නමුත් දැනට ඇති තත්ත්වය යටතේ මූල්‍ය අරමුදලේ මුදල් ලැබීම ලබන වසරේ මාර්තු දක්වා ඇදී යන ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතුවී ඇත්තේ මූල්‍ය අරමුදලේ ඊළඟ රැස්වීම ලබන මාර්තුවලට යෙදී තිබීම නිසාය. ඒ අනුව අදාළ ණය මුදල ලබාදීම පිළිබඳ තීන්දුව ලබාගත හැකි වනු ඇත්තේද ලබන මාර්තුවලින් පසුවය.