කාලයෙන් කාලයට ශ්‍රී ලංකාවට බොහෝ අරුම පුදුම කතා වැඩිපුරම අසන්නට ලැබෙන ප්‍රධාන අසල්වැසි රට වන්නේ ඉන්දියාවය. ලෝකයේ අනෙකුත් රටවලට වඩා මෙලෙස ශ්‍රී ලංකාවට අදාළ වන වගතුග රාශියක් ඉන්දියාවෙන් අපගේ සවනට වැටෙයි. මෙය සියවස් ගණනාවක් පුරා සිදුවූවකි. ශ්‍රී ලංකාව මෙන් 60 ගුණයක් විශාල ඉන්දියාව තුළ එදිනෙදා සිදුවන සුවිශේෂ කතාන්දර බොහෝය. මෙම වගතුග සියල්ලම අපට අවශ්‍ය නොවූවත් බොහෝ විට ශ්‍රී ලංකාවට අදාළ වන කතාන්දරද වෙයි. මේ ආකාරයේ එක්තරා සුවිශේෂ වගතුගක් අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. මෙම වගතුග කුමක්දැයි මුලින්ම සොයා බලමු.
ඉන්දියාවේ කොයිම්බටෝර් (Coimbatore) නගරය යනු තමිල්නාඩු ප්‍රාන්තයේ තිබෙන දෙවැනි විශාලතම නගරයයි. එසේම ප්‍රථම විශාලතම නගරය මෙන්ම තමිල්නාඩුවේ අගනගරය වන්නේ චෙන්නායි නගරයයි. දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කොයිම්බටෝර් යනු අතිවිශාල ජනගහනයක් වෙසෙන සුවිශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති නගරයකි. මෙම නගරය තුළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පවා තිබෙන අතර ලොව ප්‍රකට ජවහර්ලාල් නේරු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේද මෙම කොයිම්බටෝර් නගරය තුළය. ඔබට එම තොරතුරු බිඳක් ලියා තැබුවේ එම ස්ථානය පැහැදිලිව හඳුනාගැනීම උදෙසාය. කොයිම්බටෝර් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබෙන ‘කොට්ටායි ඊශ්වරන් කෝවිල’ (Kottai Eswaran Kovil) ආසන්නෙහි පසුගියදා සිදුවූයේ මහා විනාශයකි. එනම් එහි නවතා තිබුණු මෝටර් රථයක් තුළ මහා පිපිරුමක් සිදුවිය. පිපිරුමත් සමග එම ස්ථානයට පැමිණි පොලීසියට සහ ජනතාවට දැකගන්නට ලැබුණේ පිපිරුමෙන් පසුව සැණෙකින් මෝටර් රථය මහා ගින්නකින් දැවෙන අයුරුත්, එම රථය ඇතුළත පුද්ගලයකු ගිනිගෙන දැවෙමින් සිටින අයුරුත්ය. කෙසේ හෝ දරුණු ලෙස ගින්නෙන් දැවෙමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගැනීමට උත්සාහ ගත්තද ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි. අගක් මුලක් නොදත් මේ සිදුවීම නිසා එම ප්‍රදේශයම මහත් භීතියෙන් ඇළලී ගියේය. ඉතා අහම්බෙන් සිදුවූ මෙම සිදුවීම කුමක්ද? ඉන්දියානු ආරක්ෂක අංශ සහ රහස් පොලිසිය මෙම සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කරන්නේ එතැන් සිටය.
ඉන්දියානු පොලිසියේ දක්ෂ රහස් පොලිස් පරීක්ෂක කණ්ඩායමක් මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලබයි. ඒ අනුව ඔවුන්ට මුලින්ම පෙනී යන්නේ පිපිරීම සිදුවූ මෝටර් රථය තුළ ගෑස් සිලින්ඩරයක් තිබී ඇති බවත්, පුපුරා ගොස් ඇත්තේ එම සිලින්ඩරය බවත්ය. එසේම එම වාහනය තුළ එක් පුද්ගලයකු පමණක් සිට ඇති බවත්ය. ඔහු තරුණයකු බවත් පෙනීගොස් ඇත. රහස් පරීක්ෂක නිලධාරීන් එතැන් සිට තම විමර්ශනය පුළුල් වශයෙන් ආරම්භ කළේය. මෙලෙස ගිනිගෙන දැවුණු මෝටර් රථයේ සිටි පුද්ගලයා අවුරුදු 25ක් පමණ වයසැති අයකු බවටත්, ඔහුගේ නම ජමේෂා මුබීන් බවටත් මුලින්ම අනාවරණ කරගත්තේය. ඔහු කොයිම්බටෝර් නගරයේම පදිංචිකරුවකු වන අතර පොලිස් විමර්ශන නිලධාරීන් ඔහුගේ නිවෙස හා අනෙකුත් හැසිරීම් වටපිටාව ගැන සොයා බලන්නට විය. මේ අනුව ඔහුගේ නිවෙස දැඩි සෝදිසි කිරීම්වලට ලක්විය. එහිදී පෙනීගොස් ඇත්තේ ඔහුගේ නිවෙස තුළ අඩු ශක්තියෙන් යුත් පුපුරන වර්ග ද්‍රව්‍ය කිහිපයක්ම තිබුණු බවය. පොලිස් භාරයට ගත් එම පුපුරන ද්‍රව්‍ය පොටෑසියම් නයිටේ්රට් බවට හඳුනා ගැනිණි. එසේම එම නිවෙස තුළ තිබී ඇලුමිනියම් කුඩු, සල්ෆර්, අඟුරු, කිරිගරුඬ, ඇණ වර්ගද හමුවුණේ යැයි කොයිම්බටෝර් ප්‍රාන්ත පොලිස් ප්‍රධානී සයිලේන්ද්‍ර බාබු ප්‍රකාශ කර තිබිණි. එසේම මෝටර් රථයේ පිපිරීම සිදුවන දිනයේ උදෑසන පුද්ගලයන් හතරදෙනකු විසින් ගෝනියක ඔතා යම් භාණ්ඩයක් ජමේෂා මුබීන්ගේ නිවෙස අසලින් රැගෙන යන ආකාරයත් අසල CCTV කැමරාවක සටහන්ව තිබිණි. එසේම මෙම තරුණයාගේ නිවෙසේ තිබී සැකසහිත ලියකියවිලි කිහිපයක්ම හමුවී ඇත. මුස්ලිම් තරුණයකු වන ඔහු යම් ත්‍රස්ත කල්ලියකට සම්බන්ධ බවක්ද විමර්ශනවලදී පෙනීගොස් ඇත. එක් ලියවිල්ලක කොයිම්බටෝර් නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක විස්තර සටහන්ව තිබී ඇති අයුරුදු හඳුනා ගැනිණි. එනම් රජයේ ප්‍රධාන කාර්යාල, මහජනතාව රැස්වන ස්ථාන, ආරක්ෂක ස්ථාන ආදී තොරතුරු මෙම ලියවිල්ලේ සඳහන්ව තිබී ඇත. මෙයින් සමහර විට පෙන්නුම් කරන්නේ අනාගතයේදී යම් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකළ යුතු ස්ථාන දැයි සැකයක් පවතින බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ ආරක්ෂක අංශ සිය විමර්ශන නොනවත්වා සිදුකරන්නට පටන්ගෙන තිබිණි.
මෙම රහස් පොලිස් විමර්ශන කෙතරම් වේගවත්ව සහ සාර්ථකව සිදුකෙරුණේද යත් මේ වන විට මෙම සිදුවීම්වලට සැක සහිත පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. CCTV සාක්ෂි සහ තවත් විවිධ සාක්ෂි මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 05 දෙනාම මුස්ලිම් ජාතිකයන්ය. මොවුන්ගෙන් සමහරකු 2019 වසරේ පාස්කු දින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවද ප්‍රශ්න කෙරුණු අයය. එසේම 1998 වසරේදී කොයිම්බටෝර් නගරයේදී සිදුවුණු මිනිසුන් 58 දෙනකුගේ ජීවිත අහිමි කළ මහා පිපිරුම් මාලාවටද මෙයින් ඇතැමකු සම්බන්ධ වී ඇතැයි කරුණු හෙළිවෙයි. එම පිපිරුමෙන් ඉලක්ක කෙරුණේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ සභාපති එල්.කේ. අඩ්වානි ඝාතනය කිරීමටය. ඉස්ලාමික අන්තවාදීන් සිදුකරන ලද එම ප්‍රහාර නිසා විශාල පල්ලියක් වූ බබ්රි මස්ජිඩ් පල්ලියද විනාශ වී පොළොවටම සමතලා විය. මේ අතර දැනට ඉන්දීය ආරක්ෂක අංශ මගින් සිදුකරනු ලබන විමර්ශනයන් මගින් පෙනීගොස් ඇත්තේ පසුගියදා අත්අඩංගුවට ගත් මෙම මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලකාවේ සිටින අන්තවාදී ඉස්ලාමික කණ්ඩායම් සමගද සම්බන්ධයක් තිබෙන බවය. එනම් මිනිසුන් 270ක් ඝාතනය කළ පාස්කු දින ප්‍රහාරය මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ තව්හීද් ජමාත් නමැති ඉස්ලාමික අන්තවාදී කණ්ඩායමටද මෙම සැකකරුවන් සම්බන්ධ දැයි ඉතා පුළුල් වශයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව කොයිම්බටෝර් පොලිස් කොමසාරිස් එන්. බාලක්‍රිෂ්ණන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ ඉහත ප්‍රකාශ කළ ආකාරයට 2019 ප්‍රහාරයෙන් පසුව මෙම පිරිස සැකපිට ප්‍රශ්න කිරීමද එකලදී සිදුකරන ලදී. කෙසේ හෝ මෙම සැකකරුවන් 2022 නොවැම්බර් 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර ඉන් පසුව කොයිම්බටෝර්හි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව එම ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව අතිශය වෙහෙසක් ගෙන ඉන්දියාව විමර්ශනයන් සිදුකළේය. එනම් එකල විශේෂයෙන්ම ඉස්ලාමික ජනයා විශාල වශයෙන් වාසය කරන කොයිම්බටෝර් නාගරික ප්‍රදේශයේ ස්ථාන 07ක් පමණ දැඩි පරීක්ෂාවට ලක්කරන ලදී. ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය (National Investigation Agency – NIA) විසින් මෙම පුළුල් විමර්ශනයන් සිදුකර එකල ඉස්ලාමික අන්තවාදී සංවිධානවලට අයත් සැකසහිත පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගනු ලැබීය. මෙහිදී සුවිශේෂ සිදුවීමක් ලෙස වාර්තා වූයේ කොයිම්බටෝර් නගරයේදී මොහොමඩ් අසරුඩීන් නමැති ඉස්ලාමික අන්තවාදී නායකයකු අත්අඩංගුවට ගැනීමය. එහිදී ඉන්දීය විමර්ශන නිලධාරීන්ට පැහැදිලිවම පෙනී ගියේ මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සමීප හිතවතකු සහ අනුගාමිකයකු බවය. මෙම ත්රස්තවාදීන් දෙදෙනා බොහෝ අවස්ථාවලදී තම අන්තවාදී ප්රචාරක කටයුතු සිදුකරනු ලබන්නේ සමාජ මාධ්‍ය හරහා බවද ඉන්දීය විමර්ශන නිලධාරීන් අනාවරණ කර ඇත. එසේම මෙම අන්තවාදීන් (නායකයන්) දෙදෙනා 2016 වසරේදී සිරියාවේදී ISIS ත්‍රස්ත සංවිධානයේ පුහුණුව ලැබූ බවටද කරුණු හෙළිවී තිබිණි. මොහොමඩ් අසරුඩීන් විසින් ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් ඉස්ලාමික තරුණයන් තම සංවිධානයට බඳවාගෙන, ඔවුන් යොදාගෙන දකුණු ඉන්දියාව තුළ අවස්ථා ගණනාවකදී විවිධ ත්‍රස්ත ප්‍රහාරයන්ද සිදුකර ඇත. කෙසේ හෝ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය 2019 ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව තුළ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණයන්හි නඩු පවරා දඬුවම් ලබාදීම්ද සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම භාරගනු ලැබුවේ ISIS ත්‍රස්ත සංවිධානයයි. මේ වන විටද ලෝකයේ බොහෝ රටවල එම සංවිධානයේ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී.
‘ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ’ යැයි කියන්නට සිදු වන්නේ මෙතැනදීය. එනම් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඉන්දියාව චූදිතයන්ට දඬුවම් පමුණුවමින් යුක්තිය ඉටුකළත් ශ්‍රී ලකාව තුළදී එසේ සිදු නොවීම මහත් ශෝචනීය අසාධාරණ තත්ත්වයක් නොවේද? පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටුවන්නේ කෙදිනකද යන්න සියලු දෙනාටම මතුවී ඇති ප්රශ්නයකි. මේ වන විට පාස්කු ප්‍රහාරයට වසර තුනයි මාස හයක් ගතවී ඇති අතර බොහෝ පාර්ශ්ව විසින් එම පැනය මතුකරමින් සිටිති. ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න බරපතළ ප්රශ්නයකි. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූයේ අහිංසක ජනතාවටය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් නිසි පරිදි යුක්තිය ඉටුවී නැතැයි නැf`ඟන චෝදනා බොහෝය. රටේ ත්‍රස්තවාදය නොමැති වටපිටාවකදී මෙවැනි විනාශයක් සිදුවීමට වගකිව යුත්තේ රාජ්‍ය පාලකයන්ම බවට බොහෝ පාර්ශ්ව දැඩි ලෙස චෝදනා කරති. මාස ගණනාවක් පැවැති ජනාධිපති කොමිෂන් තුළින් හෝ අධිකරණයක් තුළින් හෝ මේතාක් නිසි ස්ථාවර දඬුවමක් එම වැරැදිකරුවන්ට ලබාදුන් ආකාරයක් පෙනෙන්නට නැත. දඬුවම් පැමිණවීම නොව සිදුවී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමය. කෙසේ හෝ එලෙස ලබාදෙන මහාධිකරණ තීන්දුවකට එරෙහිව කිසිවකුට හෝ චෝදනා එල්ල කළ නොහැකිය. මේ ආකාරයට එකල රජයේ පාලකයන්ට සහ අනෙකුත් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් කිසිවකුටවත් මේ දක්වා කිසිදු දඬුවම් පැමිණවීමක් සිදුකර නැත. නිසි පදනමක් නොමැති සාක්ෂි නොමැති විට නඩුවක් පවත්වාගෙන යා නොහැකි යැයිද විනිසුරුවරුන් විටෙක ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව මෙරට තුළදී සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරුණු පරීක්ෂණ හා විමර්ශන සඳහා අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර ‘ඉන්ටර්පෝල්’ (Interpol) පොලිසිය පවා තම උපරිම සහාය ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. එම විදෙස් නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන සඳහා මැදිහත් වූයේය. මෙලෙස ලෝකයේ ප්‍රවීණ අපරාධ විශේෂඥයන් රැසක් තම සහාය ඊට ලබා දුන්නේය. මෙවැනි වටපිටාවකදී පාස්කු ප්‍රහාරය සිදුවී වසර 02ක පමණ දීර්ඝ කාලයක් ගතවන තෙක්ම ජාත්‍යන්තර විමර්ශනයන්ද සාර්ථකව සිදුකෙරුණේය. ඒ අනුව ඇමෙරිකාව තුළද මෙවැනි විමර්ශන සිදුකෙරිණි. ඇමෙරිකාවේ FBI (Federal Bureau of Investigation) හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් මෙම විමර්ශන සිදුකෙරුණු ලැබූ අතර ෆෙඩරල් පොලිසිය විසින් එම කටයුතු මෙහෙයවනු ලැබීය. පාස්කු ප්‍රහාරයේදී ඇමෙරිකානු ජාතිකයන්ද ඝාතනයට ලක්විය. මෙලෙස සිදුකරනු ලැබූ විමර්ශන මගින් චූදිතයන් ලෙස හඳුනාගත් අන්තවාදී ඉස්ලාමික කණ්ඩායම් නියෝජනය කරනු ලබන මුස්ලිම් ජාතිකයන් තිදෙනකුට එරෙහිව ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණය මගින් නඩු පවරනු ලැබීය. ඇමෙරිකානු නීතිපති කාර්යාලයේ ප්‍රකාශයකට අනුව ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය මගින් මොහොමඩ් නවුෆර්, අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු යන තිදෙනාට එරෙහිව එලෙස නඩු පැවරිණි. මෙම චූදිතයන් තිදෙනාම ISIS ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ තිබෙන අන්තවාදී ඉස්ලාමික සංවිධානයට සම්බන්ධ බවට ඇමෙරිකානු විමර්ශන අංශ චෝදනා කර තිබිණි. මේ ආකාරයට ඉන්දියාව, ඇමෙරිකාව සහ තවත් විදේශ රටවල් පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව කටයුතු කරන විටදී ශ්‍රී ලංකාව තුළ මෙම චූදිතයෝ බොහෝ නිදහසේ කිසිදු දඬුවමක් නොවිඳිමින් යහතින් කල් ගෙවති. රාජ්‍ය නායකයන් මෙන්ම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ද එම පිරිසට අයත් වෙති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් පසුගිය කාලයේ ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් පාස්කු ප්‍රහාරයේ බොහෝ නොදුටු පැති පැහැදිලි කර තිබිණි. එය පිටු 36කින් යුත් දීර්ඝ විස්තරයකි. පාස්කු ප්‍රහාරයේ සිදුවීම්වලට අදාළව ඔහු පසුගිය මාස 10කට අධික කාලයක් පුරා අත්අඩංගුවේ පසුවී පසුව නිදහස ලැබීය. ඔහුගේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් හෙළිකර තිබුණු ප්‍රධාන ආන්දෝලනාත්මක කරුණු මෙසේය. පාස්කු ප්‍රහාරය යනු බොහෝ පාර්ශ්වවල අනුදැනුමක් ඇතිව සිදුවූ විනාශයක් බවට ඔහු කරුණු හෙළිකර සිටී. සාරාංශගත එම කරුණු මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
අසාර්ථක ටාජ් හෝටල් බෝම්බකරු ජමීල් සහ හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ හිතවත් සබඳතාව.
මඩකළපුවේ, වවුනතිව්හි 2018 නොවැම්බර් මාසයේදී සිදුවූ පොලිස් නිලධාරීන් ඝාතනයේ සැක සහිත තත්ත්වය. එම සිදුවීමට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ සම්බන්ධයක් තිබීම ආරක්ෂක අංශ විසින් වසං කිරීම.
එම පොලිස් නිලධාරීන් ඝාතනය LTTE සාමාජිකයන් වෙත පැවරීම සහ එම සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම.
රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධාන නිලධාරියකු ත්‍රස්තවාදී නායක සහරාන් සමග ඍජුවම සම්බන්ධ වීම. මෙම තොරතුරු හෙළි කරනු ලැබුවේ ඇමෙරිකාවේ FBI ඔත්තු විමර්ශන ඒජන්සියේ විමර්ශනයක් මතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සහරාන් පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමේ ක්රිියාවලිය අවහිර කිරීම.
පාස්කු ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළදී ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ලබාදුන් වාර්තාව.
පාස්කු ප්‍රහාරය සිදුවී සුළු මොහොතකට පසුව ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ අණදෙන ව්‍යුහය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වාර්තාවක් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා විසින් නිකුත් කරන ලදී. මෙම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුලින් ලබාදී තිබුණේ නම් හෝ ආරක්ෂක මණ්ඩලයට එම තොරතුරු ලබාදී තිබුණේ නම් හෝ පාස්කු ප්‍රහාරය වැළැක්වීමේ යම් හැකියාවක් තිබුණු බවද ඉහත පෙත්සම මගින් පෙන්වාදී ඇත. කෙසේ වෙතත් ජාතික බුද්ධි සේවා අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන සතුව මෙම වැදගත් රහසිගත තොරතුරු පාස්කු ප්‍රහාරයට පෙර සිටම තිබූ බවත්, එය වාර්තාවක් ලෙස සකස් කර තිබූ බවත් පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ශානි අබේසේකරගේ පෙත්සම මගින් පෙන්වා දෙයි. ඒ නිසාම ඔහු සිතාමතාම කරුණු වසං කර ඇති බව පෙනී යන බවද පෙත්සම අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරයට පෙර 2019.02.02 දින පෙත්සම්කරු වන ශානි අබේසේකර සහ රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සමග එකට එක්ව එවක ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කලබලකාරී ක්‍රියා ගැන පැහැදිලි කර ඇත. එනම් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් ඇතුළු කණ්ඩායම සැකකරන බවට කරුණු අවබෝධ කර ඇති අතර, ආරක්ෂක මණ්ඩලයට එම කරුණු ඉදිරිපත් කරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එහිදී ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම එම පොරොන්දුව ඉෂ්ට වී නොමැත. එසේම එකල අගමැති රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපතිවරයාය. අද මේ කවුරුත් සිටින්නේ පාස්කු ප්‍රහාරයක් සිදු නොවුණු ගානටය.
මෙම ලිපියේ අවසාන පරිච්ඡේදය ලියාගෙන යද්දී දැන් ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් පාස්කු ප්‍රහාර නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබීමය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ත්රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා නඟමින් මෙම නඩුව ගොනුකර තිබිණි. එනම් දැනට මෙම නඩුවේ සැකකරුවන් විශාල පිරිසක් නිදොස් කොට නිදහස් වී ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ