Home Local News Room : පර්ස් එකේ කේස් එකට නම ගෑවුණු මිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ...

News Room : පර්ස් එකේ කේස් එකට නම ගෑවුණු මිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ තහනම්!

2
0
මුදල් සොරකම් කළ බවට චෝදනා කරමින් හොරණ, මිල්ලනිය ගංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එහි විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ශ්‍රිලාල් නෝනිස් මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කළ බවයි.

එම විමර්ශන කණ්ඩායමට මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ  නිලධාරියෙකු ද ඇතුළත් ය.

සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනිය, පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (08) පස්වරුවේ නියෝග කළේ ය.

ඒ, ඔවුන් ඇතුළු පිරිසක් ළමාරක්ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය හා පොලිස් කොස්තාපල් රියැදුරා ඇප මත මුදා හැරුණි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, ඊට යොදාගත් බව කියන දැනට තම අධිකාරිය භාරයේ ඇති පොලිස් ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා බවයි.

ඒ, සිසුන්ගේ ප්‍රකාශවලින් කියැවෙන පරිදි ඔවුන්ට ජීප් රථය තුළදී විදුලි සැර වැදීමට සැලැස් වූ බව කියන සිද්ධිය සනාථ කර ගැනීම සඳහායි.

පාසලේ 5 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙලෙස කායික දණ්ඩනයට ලක්වූයේ එම පාසලේ ගුරුවරියගේ මුදල් පසුම්බියක් නැතිවීමේ සිද්ධියක් පාදක කර ගනිමිනි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here