Home Local News Room : ක්‍රීඩකයන්ට හානියක් නොවන ලෙස දැඩි තීන්දු අරන් ක්‍රිකට් රැකගන්න...

News Room : ක්‍රීඩකයන්ට හානියක් නොවන ලෙස දැඩි තීන්දු අරන් ක්‍රිකට් රැකගන්න රොෂාන් සූදානම්!

0
0

ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටලු සාකච්ජා කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සාකච්ජාවක් පැවැත්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තබා තිබූ සටහන මෙසේය.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය නිමාවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමාජයේ දැඩි කතාබහකට ලක්විය. මේ අතරින් ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්වීම මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවෘත්තිය බවට පත්ව තිබේ. එම සිදුවීමත් සමගම ක්‍රිකට් ක්‍රීඩකයින් හා සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක් පිළිබඳව මාධ්‍ය මගිනුත් දිගින් දිගටම වාර්තා කරමින් සිටිය‍ි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට , ඕස්ට්‍රේලියානු රජයට හා එහි ජනතාවට සිදුවුයේ නම් ඒ් පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙරට ක්‍රීඩාවේ ජීවය ගුණය පවත්වාගෙන යාම මෙන්ම රටේ ගෞරවයත්, ක්‍රීඩකයින් පිළිබඳවත්, ක්‍රීඩාවේ වර්තමානය සහ අනාගතය පිළිබඳවත් විශාල වගකීමක් මා වෙත පැවරී තිබේ. එබැවින් මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද, මෙවන් තත්වයක් නිර්මාණය වීම සඳහා බලපෑ සාධක මොනවා ද, ක්‍රිකට් ක්‍රීඩාව ගුණාත්මක කිරීම වෙනුවෙන් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මගෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශය පාර්ශවයෙන් සිදුකළ යුතු මැදිහත්වීම් මොනව‍ාද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයක් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ‍ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගීත්වයෙන් ඊයේ (08) දිනයේ දී සිදු කළෙමි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමණාකරු මහින්ද හලංගොඩ යන අය වෙන් වෙන් වශයෙන් කැඳවා අදහස් සහ තොරුතුරු ලබා ගැනීම සිදුකරනු ලැබීය.

උද්ගත වී ඇති තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් සහභාගී වූ එම ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා විසින් සිදු කරන ලදී. එසේම ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරඟාවලියට අදාළ සිද්ධීන් පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බවද අනාවරණය කරන ලදී.

එහි දී ක්‍රීඩකයින්ගේ විනය පවත්වා ගැනීම, ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය හා නිරන්තරයෙන් ආබාධ වලට ලක්වීම, තරඟ අතර තුර ඔවුන් නැවතී සිටින හෝටලයෙන් පිටතට ගමන් කිරීම හා එහි සිදුවිය යුතු වෙනස්කම්, ක්‍රීඩකයින් සඳහා ආහාර සපයාදීම සම්බන්ධ ක්‍රියාවලිය ආදිය පිළිබඳ කරුණු ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

ඒ අනුව ක්‍රිඩකයින් නිරන්තර ආබාධවලට ලක්වීම, ක්‍රිඩකයින්ගේ විනය පරිපාලනය කිරීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා නිල වශයෙන් විවිධ උත්සව වලට සහභාගී වීම සඳහා අවසර ලබා දී ඇති ආකාරය වැනි කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් වාර්ථාවක් කැඳවීමට තීරණය කළෙමු.

එමෙන්ම ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කාරණා ලෙස සාකච්ඡා වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රිඩා ඇකඩමියක් ස්ථාපිත කිරීම, ක්‍රීඩකයින්ගේ භාෂා හැකියා වැඩි දියුණු කිරීම, ‌පෝෂණ අවශ්‍යතා පිළිබඳ ක්‍රීඩකයින් දැනුවත් කිරීම, ව්‍යායාම මධ්‍යස්ථාන හා පුහුණුවීම් පහසුකම් ඇති කිරීම ආදි කරුණු පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කිරීමට ද අදහස් කරමි.

මේ වනවිට චෝදනා ලැබ සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයා වෙනුවෙන් අවශ්‍ය නීතිමය සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සමග ඒකාබද්ධව අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කර ඇති අතර ඕස්ට්‍රේලියාවේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ඉතා අවදානයෙන් පසුවන්නෙමු.

ක්‍රිකට් මෙරට ක්‍රීඩාවන්හි හදවතයි. එය රැකගැනීමට ක්‍රීඩකයින්ට හානියක් නොවන ලෙස අවශ්‍ය ඕනෑම තීරණයක් ගැනීමට මා පසුබට නොවන බව ද කිව යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here