Home Local News Room : ලංකා ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච දෙයක්, මුදලිගේ වෙනුවෙන් UN එක...

News Room : ලංකා ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච දෙයක්, මුදලිගේ වෙනුවෙන් UN එක වෙලාවක් දෙයි, ලංකාවේ අරගලයට එක්සත් ජාතීන් අත පොවයිද? තුර්කිය-නිකරගුවා-රුසියා-ඉරාන-ඉන්දියා සිසු අරගලවලට මැදිහත් වුණා…

1
0

‘මම අනුර මුදලිගේ. වසන්ත මුදලිගේගේ මල්ලී. අපි අද UN ඔෆිස් එකට (එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ආවේ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙන්නයි. මූලිකවම අපි දැන් සති දෙකකට කලින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලියුමක් දැම්මා. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි සිරමැදිරිවල තබාගෙන සිටීම සම්බන්ධයෙන්. ඒ ලිපියට අනුව අද අපට සාකච්ඡාවකට මේ කාර්යාලයට එන්න කියලා දැනුම් දීමක් ලැබුණා. එම විශේෂ සාකච්ඡාව දැන් පැවැත්වෙනවා. එහිදී අපි සාකච්ඡා කළේ මූලික අයිතිවාසිකම් කඩවීම සහ මේ වන විට වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන දෙදෙනාගේ රඳවාගැනීමේදී සිරගෙය ඇතුළේදී සිදුවන ප්‍රශ්න ගැනයි. ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇතිවී තිබෙන ප්‍රශ්නයන් ගැන මෙම සාකච්ඡාවේදී බලධාරීන් සමග දීර්ඝ වශයෙන් කතා කළා. මේ අයගේ ආරක්ෂක තත්ත්වය ගැන සහ සෞඛ්‍ය තත්ත්වය ගැන තිබෙන ප්‍රශ්න තමයි මුලින්ම කතා කළේ. එම තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අප එහිදී සිදුවීම් කිහිපයක්ම පෙන්වා දුන්නා. වසන්ත මුදලිගේට මේ වන විට වැලඳී තිබෙන රෝග තත්ත්වයන්ට ඔහුව රෝහලට ගෙනිහින් ප්‍රතිකාර සහ ඖෂධ ලබාදුන්නත් එම ඖෂධවලට රෝගය සුවවීමක් වෙලා නැහැ. ඒ නිසා තවත් කිහිප වතාවක්ම ප්‍රතිකාරවලට යොමුවෙන්න වෙලා තියෙනවා. ඒ වගේම ගල්වැව සිරිධම්ම හිමි දින 03ක් ලෙඩ වෙලා ඉඳලා පැනඩෝල් පෙත්තක්වත් අරන් දෙන්නේ නැතුව ඉඳලා තියෙනවා. ඊට පස්සේ පවුලේ මැදිහත් වීම සහ සමාජයේ මැදිහත් වීම මත උන්වහන්සේ රෝහල්ගත කරන තත්ත්වයටයි පත්වුණේ. එහිදී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී දින 03ක් යන විටදී ගල්වැව සිරිධම්ම හිමි නැවත වතාවක් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙනැල්ලා ඒ සිරමැදිරියටම දානවා. අපි අහන්න කැමැතියි ඩෙංගු රෝගය හැදුණු රෝගියකු එහෙම සම්පූර්ණ සුවය ලබන්න කලින් නැවත වතාවක් ඇඳක්වත් නැති පැදුරු කෑල්ලක් පමණක් තියෙන සිර කුටියකට ගෙනිහින් දාන්න තරම් මේ ආණ්ඩුව අමානුෂිකද කියලා…’

‘අපි අද පැහැදිලිවම මෙතුමියත් සමග සාකච්ඡා කළ කරුණු තමයි මෙම සිරකරුවන් දෙදෙනාගේ මානව හිමිකම් කඩවීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න හා ඊට අදාළ ප්‍රතිකාර ලබාදීමේ තත්ත්වය. මේ දෙදෙනා රඳවා ගැනීමේදී ත්‍රස්ත විමර්ශන ඒකකය තුළ ඒ සිරමැදිරිවල නිසි පාරිසරික තත්ත්වයන් කිසිවක් නොමැති බව අපි ඒ බලධාරීන්ට පෙන්වා දුන්නා. එම සිරමැදිරිවල හිරු එළිය නෑ. වාතාශ්‍රය නෑ. මානුෂිකත්වයක් යටතේ සිරකරුවකුට සැලකිය යුතුයි. එවැනි සැලකීමක් කිසිසේත්ම මේ දෙදෙනාට සිදුවන්නේ නැති නිසායි අපි මේ විදියට ලියුම් දාලා මෙම එක්සත් ජාතීන්ගේ කාර්යාලයට කියා සිටියේ. අප එම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එවැනි සිරකරුවන්ගේ තත්ත්වය ගැන මැදිහත් වීමක් සිදුකරන ලෙසයි. අප එම ඉල්ලීම තමයි අද මේ විශේෂ සාකච්ඡාව මගින් සිදුකර සිටියේ. ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් අප වෙත ලැබී තිබෙනවා…’ කුමක්ද මෙලෙස ඇසෙන අනුවේදනීය එමෙන්ම ආන්දෝලනාත්මක කතාන්දරය? මෙම වගතුග අපට ඇසෙන්නට වූයේ මෙයට දින කිහිපයකට පෙරදී කොළඹ තුන්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවතට හැරෙන ස්ථානයක ඇති සුවිශේෂ ගොඩනැගිල්ලක් ඉදිරියේදීය. එම ස්ථානය නම් ශ්‍රී ලකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය ලෙස හඳුන්වන මෙම සුවිශේෂ ස්ථානයේ ප්‍රධාන දොරටුව ඉදිරියේදී මාධ්‍යවේදීන් රැසක් විසින් වටකරගත් යම් විශේෂ පුද්ගලයකු මෙම ප්‍රකාශය සිදුකර සිටියේය. මොහු නමින් අනුර මුදලිගේය. රාජ්‍ය විරෝධී කටයුතු ගැන යම් චෝදනා ලබා මේ වන විට රජයේ ආරක්ෂක අංශ භාරයේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ යනු ඉහත අනුර මුදලිගේගේ වැඩිමහල් සොහොයුරාය. මෙම සහෝදරයන් දෙදෙනාම විශ්වවිද්‍යාල සිසුන් වන අතර අනුර මුදලිගේ යනු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි. මොහු මෙයට දින කිහිපයකට ඉතදී එලෙස උද්වේගකර ප්‍රකාශයක් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග සිදුකරනු ලැබූ එක්ත්රා සුවිශේෂ සාකච්ඡාවකින් පසුවය. එනම් ඔහුගේ සහෝදරයා වන වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් යන දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රැඳවුම් භාරයේ තබාගෙන සිටීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත එම පාර්ශ්වය විසින් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර තිබිණි. එයින් දීර්ඝ ලෙස අවධාරණය කර තිබුණේ ඉහත රැඳවුම් භාරයේ සිටින දෙදෙනාගේ මානව හිමිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳ වගතුගය. එහෙයින් එම තත්ත්වයට විසඳුමක් ලබාගැනීම උදෙසා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මැදිහත්වීම ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව වින්දිත පාර්ශ්වය සමග එක්සත් ජාතීන්ගේ බලධාරීන් එදින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. දැනට හෙළිවන කරුණුවලින් පෙනීගොස් ඇත්තේ මේ ආකාරයේ සාකච්ඡාවක් මින් පෙර කිසිදු දිනෙක ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් කිසිදු ශිෂ්‍ය පාර්ශ්වයක් වෙත ලබාදී නොමැති බවය. එනම් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් ආශ්‍රිතව එවැනි අවස්ථාවක් ලබාදී නොතිබීමය. මින් පෙර අවස්ථා ගණනාවකදී යම් පාර්ශ්ව සහ කණ්ඩායම් විසින් එම කාර්යාලය ඉදිරිපිට විවිධ උද්ඝෝෂණ පැවැත්වූ අතර එම සමහර පාර්ශ්ව එම අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ බලධාරීන් වෙත විවිධ ලිපි සහ සංදේශ ආදිය භාරදීම සිදුකරනු ලබයි. එහිදීද බොහෝ විට එම ලේඛන ප්‍රධාන කාර්යාල දොරටුව අසලදී භාරගන්නේ කාර්යාල නියෝජිතයකු විසිනි. එවිට කිසිදු පාර්ශ්වයකට ගොඩනැගිල්ල ඇතුළට පැමිණීමට අවසර ලැබෙන්නේ නැත. එසේම දැනට වාර්තා වන කරුණුවලට අනුව මෙතෙක් කිසිදු අවස්ථාවක එක්සත් ජාතීන්ගේ කාර්යාලය තුළට එවැනි පාර්ශ්ව ගෙන්වාගෙන සාකච්ඡා පවත්වා නොමැත. එහෙත් යම් දේශපාලනික හෝ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදුකෙරුණු යම් සාකච්ඡවන් පමණක් පරිශ්‍රය තුළදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව මෙවැනි වටපිටාවකදී වසන්ත මුදලිගේගේ බාල සහෝදරයා වන අනුර මුදලිගේ ඇතුළු පිරිසට මෙලෙස හිමිවී ඇත්තේ අතිශය සුවිශේෂ අවස්ථාවකි. මෙම පාර්ශ්වය පසුගියදා තම ඉල්ලීම් සහිත සානුකම්පිත ලිපිය ඉදිරිපත් කර ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානියා වන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත හෙනා සිංගර් හම්ඩි (Hanaa Singer-Hamdy) මහත්මිය වෙතය. ඒ අනුව ඇයගේ නිර්දේශ සහ අනුමැතිය මත ඉහත පාර්ශ්වය වෙත සාකච්ඡාව ලබාදී ඇත. ඇයගේ ප්‍රධානත්වයෙන් යටකී සාකච්ඡාව පැවැත්වුණු බවට කරුණු වාර්තා වෙයි. හනා සිංගර් හම්ඩි මහත්මිය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානියා සහ නිල නියෝජිතයා ලෙස පත්වීම් ලබන්නේ 2021 මැයි මාසයේ 05 වැනිදා වන අතර ඇය තවද එම තනතුර දරන්නීය. හනා සිංගර් හම්ඩි යනු වසර 30ක පමණ කාලයක් පුරා විවිධ රාජ්‍යතාන්ත්‍රික තනතුරු හොබවන ලද දක්ෂ පරිපාලිකාවක් වන්නීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානියා ලෙස ඇය පත්කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරේස් විසිනි. ඇය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානියා මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP – United Nations Development Programme) ප්‍රධානියා සහ ශ්‍රී ලංකා නියෝජිතයාද වන්නීය. ඇය මෙම තනතුර දැරීමට පෙර යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ ධුරයද දැරුවාය. ඇය ඊජිප්තු ජාතික කාත්නාවක් වන අතර ඊජිප්තුවේ කයිරෝ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකද වන්නීය. ඇය එහිදී දේශපාලන සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගෙන ඇත. මේ ආකාරයේ විද්වත් රාජ්‍යතාන්ත්‍රික කාන්තාවක් වන ඇය බොහෝ විට උපදේශනය, බලපෑම් කිරීමේ කුසලතා මෙන්ම නිර්භය තීරණ ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් ලෙසටද ප්‍රකටය. මේ අනුව ඉහත අනුර මුදලිගේ ප්‍රධාන පාර්ශ්වය සමග ඇය නායකත්වය ලබාදෙමින් සාකච්ඡාව පවත්වා ඇත. කෙසේ හෝ මෙම සාකච්ඡාවේ දීර්ඝ විස්තර හෝ පසු ප්‍රතිඵල ගැන හෝ එතරම් වැඩි කරුණු අනාවරණ වී නොමැත. මෙයට පෙර වතාවන් කිහිපයකදීද ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත හනා සිංගර් හම්ඩි මහත්මිය වත්මන් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවීම ගැන ඉතා ස්ථාවර, එමෙන්ම ප්‍රබල ප්‍රකාශයන් කිහිපයක්ම සිදුකරන ලදී. එනම් ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ ජන අරගලය ආරම්භ වූ මොහොතේ සිටම ඇය අරගලකරුවන්ගේ පාර්ශ්වය ගනිමින් මානව හිමිකම් කඩකිරීමට එරෙහිව තම හඬ නැඟුවාය. එසේම එම හඬ තවත් ජාත්‍යන්තරය වෙත රැගෙන යෑමටද ඇය කටයුතු කළාය. පසුගිය අගෝස්තු 22 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ ප්‍රධානව ගල්වැව සිරිධම්ම හිමියන් සහ ජීවන්ත ගුණතිලක යන තිදෙනා දින 90ක රැඳවුම් භාරයට පත්කරන ලදී. මොවුන් සහ තවත් විශ්වවිද්‍යාල සිසු අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගෝස්තු 18 වැනිදා කොළඹදී සිසු උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය. කෙසේ හෝ එම පිරිසෙන් බහුතරයකට අධිකරණය ඇප ලබාදුන් අතර මෙම තිදෙනා පමණක් දින 90ක දීර්ඝ රැඳවුම් භාරයකට පත්කරන ලදී. මුලින්ම ඔවුන් තංගල්ලේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙනයන ලදී. කෙසේ හෝ එතැන් සිට ඔවුන් අවස්ථා කිහිපයකදී වෙනත් රැඳවුම් ස්ථාන සඳහාද ගෙනයන ලදී. තත්ත්වය එසේ වුවද කාලය ගෙවීගෙන යන විටදී දින 50ක් ගතවීමෙන් පසුව හෂාන්ත ජීවන්තට නිදහස හිමිවිය. එනම් ඔහු පසුගිය ඔක්තෝබර් 07 වැනිදා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයෙන් මුදාහැරිණි. එහෙත් ඉතිරි දෙදෙනා මේතාක් නොකඩවා රැඳවුම් භාරයේ තබාගෙන සිටී. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි විධිවිධාන යටතේ මොවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන ලදී.

මෙම ශිෂ්‍ය අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය නියෝගය සඳහා අස්සන් තැබිය යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයා විසිනි. ඒ අනුව වත්මනෙහි ආරක්ෂක අමාත්‍යවරයා වන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. එහෙත් ඔහු එම නියෝගය ලබාදීමට පෙර බොහෝ දෙස් විදෙස් පාර්ශ්ව රැසක් ප්‍රකාශ කර සිටියේ එවැනි නියෝගයක් ලබාදීම සිදු නොකරන ලෙසය. එහිදී එම පිරිස් අතරින් බොහෝ කැපීපෙනෙන පාර්ශ්වය වූයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන්ය. එහිදී එක්තරා සුවිශේෂ තනතුරක් දරන ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රික කාන්තාවක් ඉතා තදබල ලෙස ඉල්ලීමක් සිදුකර සිටියේය. ඇය නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මේරි ලෝලර් (Mary Laolor, United Nations Special Rapporteur on Human Rights Defenders මහත්මියයි. ඇය තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ කියා සිටියාය.

‘වසන්ත මුදලිගේ, හෂාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් යන මානව හිමිකම් ආරක්ෂකයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාමාර්ගය යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මම මහත් කනස්සල්ලට පත්ව සිටිනවා. මම ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින්නේ මෙම තිදෙනාගේ රැඳවුම් නියෝගවලට අස්සන් නොකරන ලෙසයි. යම් හෙයකින් එසේ සිදුකළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇත…’

කෙසේ හෝ මෙතරම් වගකිව යුතු රාජ්‍යතාන්ත්‍රික තනතුරක් දරන ඇයගේ ඉල්ලීම ගඟට ඉනි කපනවා වැනි කතාවක් විය. දින කිහිපයකට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම කතා තඹයකට මායිම් නොකර රැඳවුම් නියෝගයට අස්සන් තැබුවේය. ඒ නිසා අදද මෙම කියන මොහොතේදී එම සිසු අරගලකරුවෝ නොයෙකුත් අපාදුක් විඳිමින් රැඳවුම් භාරයේ සිටිති. මේ අතර එම අවස්ථාවේදී තවත් දෙස් විදෙස් විවිධ පාර්ශ්ව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර සිටියත් ඒවාද ගඟට කැපූ ඉනි මෙන් විය.

මේ ආකාරයට දැනට සමීප මාස 03ක පමණ සිට ශ්‍රී ලංකාව තුළ සිදුවන මානව හිමිකම් කඩකිරීම් ගැන පසුගියදා ඉතා උච්ච ලෙසට කතාබහට සහ දෝෂාරෝපණයට ලක්වූයේ පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වැනි සැසිවාරයේදීය. එය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පසුගිය සැප්තැම්බර් 12 වැනිදා සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා පැවැත්විණි. මෙහිදී මානව හිමිකම් කඩකිරීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දේාෂාරෝපණයට ලක්විය. විශේෂයෙන්ම මෙලෙස සමීප කාලයක සිට එනම් වත්මන් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව මානව හිමිකම් කඩවීම් ඉතා ඉහළ ගොස් ඇතැයි විවිධ දෙස් විදෙස් පාර්ශ්ව අවධාරණය කර තිබිණි. එහිදී විශේෂයෙන්ම ජන අරගලකරුවන් සහ සිසු අරගලකරුවන් මර්දනය කිරීමටත්, ඔවුන්ට එරෙහිව දඬුවම් පැමිණවීමටත් කටයුතු කිරීම ගැන ඉතා දැඩි ලෙස මානව හිමිකම් කොමිසමේ නවතම සැසිවාරයේදී දෝෂාරෝපණයට ලක්විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකින්ද මෙම තත්ත්වය ගැන තම දැඩි කනස්සල්ල පළකර තිබිණි. කෙසේ හෝ අද ශ්‍රී ලංකාව තුළද මෙම තත්ත්වය ඉතා දැඩි අවධානයකට පත්වූයේ පසුගියදා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සිසු අරගලකරුවන් සමග සාකච්ඡාවකට යොමුවීමය. ලෝකයේ රටවල් ගණනාවක මෙසේ සිසු අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ බලධාරීන් කටයුතු කළ අවස්ථා වාර්තා වී ඇත. එහෙත් පසුගියදා ශ්‍රී ලංකාව තුළ එය සිදුවූයේ ප්‍රථම වතාවටය. ලෝකයේ මෙලෙස ඇතිවූ සිදුවීම් කිහිපයක් ගැන සොයා බලමු. එම වාර්තාවන් මෙසේය.

තුර්කිය – 2021 පෙබරවාරියේදී ඇරැඹි තුර්කියේ වත්මන් රජයට සහ වත්මන් ජනාධිපති ටායිප් එර්ඩෝගන් (Tayyip Erdoğan) ට එරෙහිව සිදුකරන ලද විශ්වවිද්‍යාල සිසු අරගලවලදී ආරක්ෂක අංශ විසින් විශ්වවිද්‍යාල සිසුන් යම් පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම්වලට පත්කළේය. මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ විසින් වහා තුර්කි රජයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම රඳවාගෙන ඇති සිසු අරගලකරුවන් නිදහස් කරන ලෙසය. ඒ අනුව තුර්කි ජනාධිපතිවරයා විසින් එම සිසුන් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට කටයුතු කළේය. එහෙත් තවත් සිසු අරගලකරුවන් පිරිසක් රඳවාගෙන සිටී.

නිකරගුවා – 2018 වසරේදී ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන නිකරගුවාහිදී එකල රජයට සහ ජනාධිපති ඩැනියෙන් ඔර්ටේගා (Daniel Ortega) ට එරෙහිව පැවැති සිසු උද්ඝෝෂණවලදී වෙඩිතැබීමෙන් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු මියගියේය. එසේම තවත් විශාල ජන අරගල අතරතුරදී පුද්ගලයන් 47 දෙනකු වෙඩිතබා ඝාතනයට ලක්විය. මේ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදුකරන ලෙස එකල සහ වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරේස් විසින් නියෝග කර තිබිණි.

රුසියාව – 2022 සැප්තැම්බර් මාසයේදී රුසියානු රජය විසින් අලුතින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කරන ලද 2,400කට ආසන්න තරුණ පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. විශේෂයෙන්ම එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි. මෙම සිදුවීමේදී පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විශේෂ ප්‍රකාශයක් කරමින් රුසියානු රජයට කියා සිටියේ එම උද්ඝෝෂකයන් වහාම නිදහස් කරන ලෙසයි.

ඉරානය – 2022 වසරේ සිට ඉරානයේ ටෙහෙරාන් අගනුවර පැවැත්වුණු සිසු උද්ඝෝෂණවලදී මරණයට පත්වූ 22 හැවිරිදි තරුණ විශ්වවිද්‍යාල සිසුවියකගේ මරණය ගැන සහ අත්අඩංගුවට පත් අනෙක් සිසුන්ගේ නිදහස සඳහා වහාම ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉරාන රජයෙන් විශේෂ ප්‍රකාශයක් මගින් ඉල්ලා සිටියේය.

ඉන්දියාව – 2020 ජනවාරි මාසයේදී ඉන්දියාවේ පැවැති නව පුරවැසි සංශෝධන පනතට එරෙහිව උද්ඝෝෂණය කරන ලද පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත් අතර, එවිට ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා එකල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් මණ්ඩලයක් ඉන්දීය රජයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here