Home Local News Room : ‌ද්‍රෝහි වීරයෝ සහ ද්විත්ව පුරවැසියේ…

News Room : ‌ද්‍රෝහි වීරයෝ සහ ද්විත්ව පුරවැසියේ…

0
0

ලොව අපිරිසුදුම මිනිසා ලෙස සැලකෙන්නේ ඉරානයේ අමොව් හාජිය. ඔහු වසර 54ක් ස්නානය නොකර සිටියේ මියයතැයි බියෙනි. කොතරම් අපිරිසුදුවට සිටියත් ඔහු අවුරුදු 94ක් ජීවත් වූයේය. ඔහු ස්නානය නොකර සිටියේ ‘ඔළුවට වතුර වැටුණොත්’ මැරෙතැයි යන බියෙනි.

ඉරානයේ අමොව් හාජි විසූ ගමේ වැසියෝ මැරෙන්නට බයෙන් ස්නානය නොකර 94 වසරක් ජීවත් වූ හාජි අල්ලා නෑවූවෝය. නෑවීමත් සමග අවුරුදු 94ක් නිරෝගීව සිටි හාජි මලේය. අමොව් හාජි විසූ ගමේ ගම්වැසියන්ගේ කතාවත් දශකයකට නොවැඩි කාලයක් ද්විත්ව පුරවැසිකම තහවුරු කරන්නටත් විටෙක තහනම් කරන්නටත් කළ ව්‍යවස්ථා සංශෝධන වගේය. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන ඒ තරමටම විහිළුසහගතය.

පසුගියදා සම්මත කරගත් ව්‍යවස්ථා සංශෝධනයද ඊට සමානය. බොහෝ මහජන නියෝජිතයන් කියන්නේ තමන් ඊට ඡන්දය දුන්නේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරන වාක්‍ය නිසා කියලාය.

ඔස්ටේ්‍රලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් (Barnaby Joyce) සහ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් වන හෙයින් ඔවුන් පස්දෙනා පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගනු ලැබීම නීතියට පටහැනි බව එරට මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවේ 2017 ඔක්තෝබර්ය. එවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනීි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේත් 2017දීය. අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.

ගීතා එවර එම උගුලෙහි හසුවුණාය. මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් එතෙක් රජය විසින් වැයකරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය නියෝග කරනු ලැබීය. ඈ’ඉන් පසු මැතිවරණයට ඉදිරිපත් වුණේ පුරවැසිකම අත්හරිමිනි. ඇයම කියන පරිදි ඇගේ සැමියාටද, දියණියටද, ඇය සතුව තිබූ ස්විට්සර්ලන්ත ධනයටද ඇය පයින් ගැසුවාය.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කතිකාව බරපතළ ලෙස ඉස්මතු වුණේ 2019 ජනාධිපතිවරණ සමයේදීය.

එවක ජනාධිපතිත් අපේක්ෂකත්වයට ඉදිරිපත් වුණු ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කොටගෙන ද්විත්ව පුරවැසි කාරණාව ඉස්මතු විය. ඔහු පුරවැසිකම ඉවත් කරගත්තාද නැද්ද යන්න පිළිබඳ ඒ දිනවල දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.

ගෝඨාභය රාජපක්ෂගේ මූලික පුරවැසිභාවය තිබෙන්නේ ඇමෙරිකාවේය. දෙවැන්න ලංකාවේය. ඔහු ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා ඇත. ඔහුගේ මූලික ළැදියාව තිබෙන්නේ ඇමෙරිකාවටය.

පුද්ගලයකුට තම ජාතිය අතහැර දැමීමට තිබෙන අයිතිය විශ්ව මානව හිමිකම් ප්‍රකාශයෙන්ද සහතික කර තිබේ. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීම හෝ එම පුරවැසිභාවය අතහැර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීම හෝ කිසිදු ගැටලුවක් නැත.

ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබන්න ලෙහෙසි පහසු නැත. ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝකයේ අතිප්‍රබල රාජ්‍යයකි. එහි පුරවැසිභාවය ලැබීම ඔවුන් හඳුන්වන්නේ මිලකළ නොහැකි අවස්ථාවක් ලෙසය. ඒ වගේම එය ස්ථිරය. එය සුළු හේතු මත ඉවත් කිරීමට අවස්ථාව නැත. එය ඉවත් කරනවා නම් ඉතා දුර්ලභ අවස්ථාවක පමණි. එම අවස්ථාව හිමිවන්නේ ඉතා සීමිත හේතූන් මත පමණකි.

එහිදී ලබාදෙන ප්‍රතිඥාව ඇඟ හිරිවැටෙනසුලුය.

‘කවදාක හෝ නීතියෙන් ඉල්ලා සිටින මොහොතක් වෙතොත් ඒ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවන්හි අසංග‍්‍රාමික සේවාවන් සඳහා කැප වෙමි. මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම භාරගනිමි. එසේ හෙයින් දෙවියනි, මට පිහිට වුව මැන.’
ගෝඨාභය රාජපක්ෂ එවක ඇමෙරිකානු පුරවැසිකම ලබාගත්තේ එම දිවුරුම ලබාදීමෙන් අනතුරුවය. එහෙම දිව්රුම් දුන් පුරවැසියා යම්කිසි අයුරකින් මේ එකඟතා කඩනවා නම් එම පුද්ගලයාගේ පුරවැසිභාවය ජීවිතාන්තය දක්වා අහිමි කර රටින් පිටුවහල් කිරීමට ඇමෙරිකාවට හැකියාව තිබේ. ඒ හැර යම් කිසි අයකුට හිතුමතේ එයින් ඉවත් වන්නට නොහැක.

අදාළ ක්ෂේත්‍රයේ නීතිඥවරයකුගේ උපදෙස් මත එරට ආණ්ඩුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ හැකි වුවත් එය අතිශය අපහසු කාර්යයකි. සුළු කාරණා මත කොහෙත්ම එය කරගත නොහැක. පෙර කී පරිදි ඔහු පිටුවහල් කළහොත් කෙදිනකවක් ඇමෙරිකාවට අඩිය තියන්නත් අවස්ථාව ලැබෙන්නේ නැත. ගෙවල් දොරවල්, දේපොළ, බැංකු ගිණුම්, දරුවන් ඇමෙරිකාවේ තියාගෙන කෙනෙක් ඒ අයුරින් පුරවැසිභාවය අහිමි කරගනියි කියා නම් කොහෙත්ම හිතන්න බැරිය. එරටින් පිටුවහල් කළ කෙනෙක් නම් ඇමෙරිකාව එම පුද්ගලයා රාජතාන්ත්‍රිකයකු ලෙසවත් පිළිගන්නේ නැත.

එවන් තත්ත්වයක් තුළ පවා ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට තරඟ කළේය. හෙතෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විටත් ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි බව පිළිබඳ අර්බුදය ලිහී නොතිබිණි. බැසිල් රාජපක්ෂද ඇමෙරිකානු පුරවැසියෙකි. ඔහුද අර දිවුරුමම ලබා දුන්නෙකි.

2010 වසරේ ජනාධිපතිවරණයට තරඟ කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එවක ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියකු විය. ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ මැතිවරණවලට තරග කිරීමට බැරි නීතිමය ප්‍රතිපාදනයක් එම වකවානුවේ තිබුණේ නැති වුවද, සරත් ෆොන්සේකා තම නම කිසිදු ඡන්ද හිමි නාමලේඛනයක ලියාපදිංචි කර තිබුණේ නැත. ඒ නිසාම තමන් තරඟ කළ ජනාධිපතිවරණයේදී ඡන්දය දීමේ අවස්ථාව ඔහුට ලැබුණේත් නැත. ජනාධිපතිවරණය පැවැත්වුණු 2010 ජනවාරි 26 දින උදේ සිට එදා මහින්දලා, ගෝඨාභයලා විසින් සරත් ෆොන්සේකාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එදා සරත් ෆොන්සේකාට ඡන්දය නොතිබීම මහින්දලාට ලොකු ප්‍රශ්නයක් විය. එහෙත් ඔවුන් ඡන්දය ඉල්ලන විට ඒවා ප්‍රශ්න නොවීය.

මීට වසර කිහිපයකට පෙර මහින්දගේ ආණ්ඩුවේ යුවරජු වූ, ආර්ථිකය මෙහෙයවූ බැසිල් රාජපක්ෂ පක්ෂපාතී ඇමෙරිකාවටය. ඒ ඔහු ඇමෙරිකානු පුරවැසියකු නිසාය. බැසිල් හෝ ගෝඨා මෙරට පුරවැසිකම ඉන්දියන් සාගරයට වීසිකොට ඇමෙරිකන් පුරවැසිකම ගත්තේ මෙරටින් වූ කුමන අඩන්තේට්ටමකටද? වරක්’මාධ්‍ය විසින් බැසිල් රාජපක්ෂගෙන් ‘ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් ඇමෙරිකානු පුරවැසි බව අත්හරින්නේ දැ’යි විමසීය.

ඔහු එකපාරටම කීවේ එසේ අත්නොහරින බවය. හැබැයි එහෙව් පුද්ගලයා ටික දවසකින් පක්ෂ බිහිකොට එය ආණ්ඩු බලය ලබාගත් පක්ෂය බවට පරිවර්තනය කළේය. රටේ හැට නව ලක්ෂයකට වැඩි ජනතාවක් ඔවුන්ට ඡන්දය දුන්නේ රට බේරා ගන්නටය. ඇමෙරිකන් පුරවැසියන් දෙදෙනකු මේ රට බේරාගනු ඇතැයි රටේ මිනිස්සු කල්පනා කළා වන්නට පුළුවන. නමුත් ඇත්තටම අන්තිමට සිද්ධ වුණේ රට බංකොලොත් අඩියට තල්ලු වෙන එකය.

රට ඛේදවාචකයකට තල්ලුවී බංකොලොත් වීමත් සමගම පුරවැසි අරගලය හේතුකොටගෙන ආණ්ඩුවේ මුල් පුටු එහෙ මෙහේ විය. ඒ අතරේ පුරුදු පරිදි බැසිල් රාජපක්ෂ තමන්ගේ පුරවැසි දේශය බලා නික්ම ගියේය. අන්තිමට’ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සිදුවීමත් සමගම දැන් බැසිල් අලුත් පියවරක් ගැනීමට සූදානම් බවට වාර්තා වේ.

ඒ තමන්ගේ ද්විත්ව පුරවැසි බව ඉවත් කර ගැනීමය. සාමාන්‍යයෙන් සුවිශේෂ තත්ත්වයන් යටතේ බොහෝ දෙනකුට පුරවැසි බව ලබාගැනීමට සිදුවේ.

1989 මර්දනය හමුවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ රටින් පලාගොස්, යුරෝපයේ දේශපාලන රැකවරණ ලබාගත්තේය. ඔහු ද්විත්ව පුරවැසියකු විය. තිස් අවුරුදු යුද්ධයේදී දෙමළ කැරැලිකරුවන් හා දෙමළ පුරවැසියන් විශාල පිරිසක් ශ්‍රී ලාංකික පුරවැසි අනන්‍යතාව අතහැර දැමීය. අනතුරුව වෙනත් රටවල දේශපාලන රැකවරණ හෝ පුරවැසිභාවය ලබාගත්හ. කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් එවැන්නකි.

වෙනත් නමකින් ලබාගත් ගමන් බලපත්‍රයකින් ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලබාගන්නට සමත් වූ කුමාර් ගුණරත්නම් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාය.

මේ දිනවල ලොකුම ප්‍රශ්නය මතුවී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් දසදෙනා කවුද කියලාය. මෙය සොයාගැනීම එතරම් අපහසු නැත. එහෙත් ඒ කවුදැයි සොයාගන්නට උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නටද නැත. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකිවයුත්තන් සිටින්නේ හොරට නිදාගත් ගානටය. සමහරු ප්‍රශ්න කරන්නේ ද්විත්ව පුරවැසියන් ද්‍රෝහින් දැයි කියාය. නැත. බොහෝ ද්විත්ව පුරවැසියන් ගෞරවනීය පිරිසකි. පුරවැසි බව ලබාගැනීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. හිතුමනාපෙට ඕනෑම රටක් පුරවැසිකම දෙන්නේද නැත. එහෙත්, රටවල් බංකොලොත් කොට, ඒ රටේ අනාගතය නැතිභංග කළ පිරිස් එක් අතකින් ද්‍රෝහීන්ය. තවත් අතකින් ආර්ථික ඝාතකයන්ය.

ටි්‍රක්සි ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here