Home Local News Room : මා හෝ රජා හෝ….! – Sri Lanka News Update

News Room : මා හෝ රජා හෝ….! – Sri Lanka News Update

0
0

මීට කලෙකට පෙර මිතුරෙක් මා අත තැබු ග්‍රන්ථයක් අටෝරාසියක් වැඩ අතරේ කියවා හමාර කළෙමි. එහි නම ‘Predicting the Future ය. සංස්කාරකවරයා John Malone ය. එහි ඇත්තේ ලොව කළ නොහැකි දේ යැයි උපකල්පනය කොට පසෙක තැබු එහෙත් අධිෂ්ඨානශීලි මිනිසුන්ගේ අප්‍රතිහත කැපවීම හමුවේ නිමකළ නිමැවුම්ය. එසේත් නැත්නම් ජනගත කළ ජනකාන්ත සංකල්පයි. මා කිසිදු විටෙක අනාගතය දැක ඒ ගැන අනාවැකි කීමේ සුහුරු හැකියාවෙන් යුත් තැනැත්තෙක් නොවෙමි. එහෙත් John Malone ගේ කෘතිය කියවා ලත් ආශ්වාදය හා සමඟ මා මෙසේ කියමි.

“මහින්ද දේශප්‍රිය මහතා මේ ගෙන ඇත්තේ කවර හෝ සවිඥානක මිනිසෙක් පහසුවෙන් ගනු ඇතැයි නොහැඟෙන තීරණයකි. ඔහු සතුව  පෙර සසරේ රැස්කළ කුසල් ඇත්තේ නම් පමණක් ඔහු රැකෙනු ඇත්තේය. එසේ නොමැත්තේ නම් ඔහු මේ තතන්නේ තම කීර්තිය පිළිබඳ අංශුමාත්‍ර වූ හෝ මමායනයක් රහිතව සූදු කෙළියට බට ආධුනික සුදු අන්තුවෙක් තම කීර්තිධර ආපදානය පරදුවට තබා සූදු කෙළින ආකාරයේ ‘මා හෝ රාජා හෝ’ ප්‍රතිපදාවේ පිහිටා ගත් අමුතු තීරණයක් මත්තේ නැහෙන්නටය. එනයින්ම ඔහු ඔහුගේ ඉරණම ලියා ගන්නවා ඇත.”  

අපේක්ෂා කළ පරිදිම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වී ඇත්තේය. අංක  2304/47 ලෙසින් අංකනය කර ඇති එහි මුඛ්‍යාර්ථය පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණයක් කිරීමයි. එය අස්සන් කොට ඇත්තේ අග්‍රාමාත්‍ය මෙන්ම විෂයභාර අමාත්‍යවර දිනේෂ් ගුණවර්ධනයි. ඔහු නැවත හමුවන පළමු මොහොතේදීම ඔහුගෙන් පැනයක් අසන්නට මා කැමැත්තෙමි. ඒ මෙයයි.

”නිරීක්ෂණ සහ නිර්දේශ ලෙස පාර්ලිමේන්තු සැසි පත්‍ර අංක 175 සේ තමුන්නැහේ එළිදැක්වූ පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාවේ දියාරුවට සීමා නිර්ණය ගැන ලියද්දී මේ පළාත් පාලන කොට්ඨාශ සීමා නිර්ණය ගැන මතක් වුණේ නැතෙයි? අර විද්වත් කමිටුවේ හිටපු සුදන්ත මහත්තය වත් උපදෙසක් හෙම දුන්නෙ නැතෙයි? හාර මහකින්  ඔහේට ඉසිවර නුවණ පෑදුනේ තිළිණිගේ රන්පොලු හංගපු බොරැල්ලේ රහතාගෙන්වත්  ටියුෂන් අරගෙනෙයි”. දිස්ත්‍රික්ක මට්ටමේ සීමා නිර්ණයක් හා බහු කොට්ඨාශ නිර්මාණයක් විනා වෙන බක්කක් එහි නෑ නොවැ!.

සුදු වලාකුළුයි කොත්තමල්ලියි ද? කොත්තමල්ලියි වෙනිවැල්ගැටයි ද?

මෙකී අතිවිශේෂ ගැසට් පත්‍රය ඉකුත්දින නිකුත්වුනේය. එහෙත් අප එබැව් දැනගෙන කලක් ඉකුත්ව ගොස්ය. දේශප්‍රිය නාමය පෙර කී සීමානිර්ණය ජාතික කමිටුව හා ඈඳුණු වහා පැනවත්හූ ඔහු ප්‍රශ්න කළෝය. අප සුමිතුරු ප්‍රබෝධ ද FB වේදිකාව මත්තේ එකී පැනය ම නින්නාද කළේය. ඒ සැමට තම මුඛරිගත සාටෝපකාරී බසින් පිළිතුරු දෙන දේශප්‍රිය මෙලෙස කියන්නේය.

“ඔබ අදහස් කරන්නේ සීමා නිර්ණය කමිටුව ගැන නම්, කිව හැක්කේ මේ සීමා නිර්ණය හා ඡන්ද විමසීමේ දින නියම කිරීම සුදු වලාකුළුයි කොත්තමල්ලියි වගේ එකිනෙක අතර කිසි සම්බන්ධයක් නැති බවයි”.

තාර්කාභාෂයම සැමට පිළියම නම් මෙකී දේශප්‍රියවාදය අප පිනවනු ඇත්තේය. අප සනසනු ඇත්තේ ය. එහෙත් මා සතු  සොළොස්වස් සපිරෙන මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම නම් සීමා නිර්ණය හා ජන්ද විමසීම් දින නිර්ණය යනු ඒ සා දුරක පිහිටි යමක් නොවේය යන්නයි. එය කොත්තමල්ලි,  වෙනිවැල්ගැට හා සමීප යම් සේද, ඒ හා සමාන ප්‍රපංච යුගලයකි.  

කටයුතු සිදුවූ පිළිවෙල මෙලෙසය..

ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා අංක 2262/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය. ඒ 2022 ජනවාරි මස 10 වැනි දිනයි. එමඟින් ඔහු ජන්ද විමසීම කල් දැමූ කාලය වසරකි. එනම්  2023 මාර්තු 19 තෙක්ය. (අවාසනාවට තමන් ඡන්ද විමසීම කල් දමන්නේ ඇයිදැයි යන්න ගැන වචන මාත්‍රයක් එහි නැත. එබැවින් එය  කැලෑ පත්‍රයක් හා සමය).

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම හා සමගාමීව මුදල් අමාත්‍යවරයා රජයේ වියදම් කපා හැරීමේ යෝජනා ද ඉදිරිපත් කරයි. ලිඛිත දේශනයේ පළාත් පාලන ආයතන ඒකාබද්ධ කරන බවද කියයි. ඊටත් වැඩිමනත් ලෙස පළාත් පාලන ආයතන සභිකයන් අඩුකරන බවද මාධ්‍ය හමුවේ පවසයි.

එබැව් ඇසු විගස සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම්වරයා අමතයි. එවන් ආකාරයේ යම් සිමා නිර්ණමය උත්සාහයක් වේ නම් එය දැනටමත් ව්‍යවස්ථාපිතව ප්‍රතිෂ්ඨාපිත ජාතික සීමා නිර්ණය කොමිෂන් සභාවට දීම උචිත බව දන්වයි.

රාජ්‍ය යාන්ත්‍රණය යුහුසුළුව කටයුතු කිරීම අරඹයි. මහින්ද දේශප්‍රිය මහතාගේ ලිපියෙන් නව උත්තේජනයක් ලබන ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, දින කිහිපයක් තුළ ලිපි කිහිපයක් හුවමාරු කරගනී.

අසාමාන්‍ය හා පුදුම සහගත උනන්දුවක් ඔස්සේ මහින්ද දේශප්‍රිය මහතාගේ යෝජනාව ඵල දරයි. තිරයෙන් පිටුපස එකදු නිමේශයක් හෝ රැඳෙනු නොකැමැති අප කතානායක දේශප්‍රිය මැතිඳුන් දැන් ජාතික සීමා නිර්ණය කමිටුවේ ද සභාපති ය. ඔහු නැවතත් අප නින්දට යන විට ද, නින්දෙන් පිබිදෙන විටද ආලින්දයේ සිට අප දෙස බලා මහ හඬින් සිනාසෙන යුගය ඇරැඹී ඇත්තේය.

පති භක්තිය ද ඉක්මවා යන දේශපාලන භක්තිය සහ දේශප්‍රිය සැතපෙන මල් ඕවිල්ල..

මෙහිලා ස්ථාපිත කමිටුව ගැන අපට කිසිදු අරෝවක් නැත. ආචාර්ය තවලිංගම් එකී ක්‍ෂේත්‍රය රංජනය කළ මහත්මයෙකි. අනෙක් සාමාජිකයෝ ද ඔහේ හිටපුවාවේ. එහෙත් ජයලත් රවී දිසානායක ගැන නම් වදනක් බිනීම වටී.  සමස්ත පළාත් පාලන ආයතන ව්‍යුහයම  තම අණසකට ගනුවස්  බැසිල් රාජපක්‍ෂ වසර 2012 දී සැකැසු මාර්ග සිතියමෙහි සැඟවුණු මහමොළකරු ඔහුය. දිසාපතිවරයෙක් හා අමත්‍යංශ නිළධරයෙක් වුව ද ජයලත් රවී දිසානායක දේශපාලන භක්තිය පති භක්තියද ඉක්මවා යන ශුද්ධ වූ යමක් යැයි තරයේ අදහන්නෙකි. කරුණු එසේවුව පෙබරවාරි 26 නම් වූ කඩඉම් දිනට පෙර මෙකී කමිටුව තම වාර්තාව දෙනවා සිකුරුය. එනයින් සිතන කල දේශප්‍රිය මහතා කර ඇත්තේ තම නිලවරම ක්‍රියාවට නැඟීම මිස වෙන අන් යමක් නොවේ.

එනමුත් සිදුවිය හැකි සංතෑසිය එය නොවේ. දේශප්‍රිය මහතා  කවර අවිහිංසක සිතිවිල්ලක පසුවුව ද එතුමන් සැතැපෙන මල් ඕවිල්ල බිමට පාත්වන නිමේෂය නිර්ණය කරනු ඇත්තේ වත්මන් පාලක පක්‍ෂයයි. ඒ කෙසේද යත් දේශප්‍රිය කමිටුව දෙන වාර්තාව සමාලෝචනය කරන්නෝ අප ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ ය. ඔවුන් බංකළොත් රටක වසන කතාවේ පාරප්‍රාප්ත නරයන් විශේෂයකි. ”අපි ඉලෙක්ෂන් තියන්නේ දේශප්‍රිය කමිටු වාර්තාවට අනුව පමණකි” යැයි ඔවුන්   පැවසුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද?

ප්‍රතිඵලය දෙයාකාරය:

අපි කළේ අපේ කාර්යය මිසක් ඡන්ද විමසීම් දින නිර්ණයක් නොවේ යැයි පවසා වැඩිමනත් ලෙස තක්කාලි සම්බෝල -බෝල්ට් ඇන උපමාවෙන්ද අප වෙත දමා ගසා දේශප්‍රිය මැතිඳුන් නැවත අම්බලංගොඩ නිවසට ගොස් කුසල් මෙන්ඩිස් ඊළඟ සෙන්චරිය ගසන තෙක් මුහුණු පොතේ ස්ටේටස් අප්ඩේට් කරනු ඇත.

එසේත් නැත්නම් පුරාතණ ග්‍රීසියේ නිපන් සාදෘශගත ”ගෝඩියන් ගැටය” වන් මැතිවරණ අවුල ලිහන්නේ කෙසේදැයි එතුමන් නැවතත් වෙනත් වටයකින් තවත් යෝජනාවක් සමඟ කලඑළි බසිනු ඇත්තේ මැතිවරණ ප්‍රේමීන් දුර්මුඛ කරමිනි.

”ගොනා සහ කරත්තය එකතුවන්නේ නම් කඳු පල්ලම් කුමක් කරයිද?”

ප්‍රකට දමිළ භාෂාගත පිරුළක සිංහල පදගරථය මෙපරිදිය. ”ගොනා සහ කරත්තය එකතුවන්නේ නම් කඳු පල්ලම් කුමක් කරයිද?”

දැන් ජාතික සීමා නිර්ණය කමිටුව නම් වූ කරත්තය ගමනට සුදානම්ය. පාලක පක්‍ෂය නම් වූ ගොනා තීරණය කළ යුත්තේ දේශප්‍රිය කමිටු වාර්තාව උපයෝගී කරගන්නේ කුමන ඡන්ද විමසීමට ද  යන්නයි. ගොනා පළාත්පාලන ආයතන ඡන්ද විමසීම නම් වූ පොල් පැලය කා දමන්නට දැන්ම ම හැරුණොත් මැතිවරණ ප්‍රේමීන්  සීමා නිර්ණය කමිටු කරත්තයේ කඩ ඇනය ද  ද කීතු කීතු කරනු ඇත.

මෙම සටහනෙහි මුඛ්‍යාර්ථය දේශප්‍රිය මැතිඳුන් අගතියේ දැමීම නොවේ. අප ද මැතිවරණ ලෝකයේ මෙලෙස පය ගසා සිටින්නේ එතුමන් වැනි ස්වල්ප දෙනෙකුගේ නොමඳ ආශිර්වාදයෙනි. ඔහු මෙලොව කවරෙකු හෝ හට පෞද්ගලික දිවියේ හමුවිය හැකි අසිරිමත්ම මිනිසුන්ගෙන් කෙනෙකි. වරක් අප කලණ මිතුරු රෝහණ හෙට්ටිආරච්චි මහතා හදිසියේ රෝගාතුරව දින කිහිපයක් ගිලන්ව ගියේය. එපුවත් ඇසූ දේශප්‍රිය මහතා සැණෙන් මා අමතා තමන් සතු ණයවර පත් සහ අනෙකුත් හරුබස්ස අවුස්සන කල මිලියන එකහමාරක මුදලක් අතට ගත හැකි බවත් දැන්මම ඔහු හමුවී එකී මුදල් ගෙන රෝහණ සුවපත් කරන්නට යොදන්න යැයි බලකොට කියා සිටියේය. අද ද අප දියණිය වේවා වෙනත් දරුවෙක් හෝ වේවා එකී දරුවෙකුගේ කවර හෝ දස්කමක් දුටුකල එතුමන් දක්වන කාරුණිකත්වය අනගිභනීය ය. එවන් උදාරම් පුරුෂයෙක් මම කිසිදු දිනෙක පෞද්ගලික දිවියේ අගතියේ නොහෙළමි. එනමුත් විවෘත හදින් හා අප්‍රමාණ වූ ගෞරවනීය ප්‍රේක්ෂාවකින් පැවසිය යුත්තේ වසර දෙකක් සර්වේයර් ජෙනරාල් ගොඩනැගිලි පරිශ්‍රයේ හුදෙකලා කුටියක සිට එකවරම මෙලෙස සීමා නිර්ණයක් වෙත අවතීර්ණ වීම අප හද පාරන්නක් බවයි.

දේශප්‍රිය නාමය මෙරටේ සදාකාලිකව ජනගත වියයුත්තේ යුගයක් එකළු කල මැතිවරණ වීරයෙක් සේ මිස වඳ පීදුණු දේශපාලකයන් පාවඩ සේ සලකන කමිටු වාර්තා සෑදු පරිපාලකයෙක් සේ නොවේ.

වික්‍රමසිංහ සර්ව බළධාරී දෙවියා සහ දේශප්‍රිය දේව ආත්මය..

එබැවින් ලොව ජනාදරයට පත් අප්‍රිකානු උපමා කතාවක හරය එතුමන්ට ගෞරව පිණිස මෙලෙස ලියා දක්වමි.

”ලෝකය එකම යායක් සේ ගැහැණු – මිනිස්සු, ළමා – ළපටි, සතා – සීපාවා එකට පයුරුපායසනයේ යෙදෙමින් සිටින කාලයකි. ඒපුරාතණ ලෝකයේය. මෙබැව් දුටු සර්වබලධාරී දෙවියා එකවරම ලෝකය දෙපළු කළේය. එදා පටන් ගැහැණු මිනිස්සු දෙපැත්තට බෙදුනාහු පිරිමියා තමන් කැමති ගැහැණියත් – ගැහැණුන් තමන් කැමති පිරිමියාත් සොයමින් ලෝකයේ සැරිසරන්නේ ලු. විවාහය යනු එයයි. විවාහ අසාර්ථක වන්නේ එලෙස සොයා ගිය ද ගැලපෙන කෙනා සොයා නොගත් නිසාලු”.

අපේ ජාතික සීමා නිර්ණය කමිටුව ද එලෙසමය. ඡන්ද විමසීමක් පවත්වා පළාත් පාලන සභිකයන් තෝරාගැනීමට අවකාශ සළසනු වෙනුවට රනිල් වික්‍රමසිංහ නම් සර්ව බළධාරී දෙවියා ලංකාව දෙපළු කිරීමට නියමිතය. ඒ දේශප්‍රිය නම් ජනකාන්ත දේව ආත්මයේ පිහිටෙනි. එකී දෙවියා රට බෙදනු ඇත්තේ සැබෑ ලලාසාවකින් බව ඔහුගේ දේව භාෂිත අනුව පෙනී යයි. එහෙත් වික්‍රමසිංහ සර්ව බළධාරියාගේ  සිතේ ඇති දේ දන්නේ වජිර අබේවර්ධන වැනි ප්‍රේත ආත්ම කිහිපයක් පමණි.

එබැවින් මේ අග්‍රතර හා අල්පතර දේව ආත්ම මිනිස් සාපයෙන් ගලවා ගන්නට නම්  ශ්‍රී ලංකාවේ මැතිවරණ  කොමිසම දැන්වත් මාරාවේශයෙන් හෝ පැමිණ  ඡන්ද විමසීම් දින ප්‍රකාශයට පත්කළ යුත්තේය. (නීතිපති වැනි අල්පතර දේව මණ්ඩල දැනටමත් පිරිහී කුජීත වී ඇති බව තතු දන්නෝ හොඳින් දනිති).

අපි තවදුරටත් බලා සිටින්නෙමු. ඒ අවසන ජයගන්නේ දේශප්‍රියවාදයද ? ප්‍රජාතන්ත්‍රවාදය ද ? යන්න ගැනය.

-මංජුල ගජනායක

-ලංකාඊනිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here