වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (6) රාත්‍රියේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එදින රාත්‍රී 10.00 පමණ සිට අද පස්වරු 4.00 පමණ වන තුරු පැය 18 කට වැඩි කාලයක් එම මධ්‍යස්ථානයේ පාලනය රැඳවියන් විසින් සියතට ගෙන තිබූ බව වාර්තා වේ.
කලහකාරී ලෙස හැසිරුණු මෙම රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාව ද කඩා තිබූ අතර, යුද හමුදාව සිද්ධියට මැදිහත්වීම හේතුවෙන් අවි පැහැරගැනීම වැළකී ගොස් ඇත.
මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලීසිය, එම ස්ථානයට කැඳවා තිබූ නමුත් ඔවුන්ට කඳවුර තුළට යෑමට රැඳවියන් ඉඩනොදීම නිසා තත්ත්වය පාලනය කිරීම අසීරු වූ බව පොලොන්නරුව පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
තත්වය ඊයේ සවස 4.00 පමණ වන විටත් පාලනය කිරීමට නොහැකිවීම නිසා පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දිකද සිල්වා මහතාගේ උපදෙස් මත මනම්පිටිය, වැලිකන්ද, පුලස්තිපුර, අරලගංවිල, හිඟුරක්ගොඩ, ලංකාපුර ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ද එහි කැඳවා තිබූ අතර යුද හමුදාව මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද විශාල පිරිසක් තත්ත්වය පාලනය කිරීමට පැමිණ සිටියහ.
පසුව එම ආරක්‍ෂක අංශ සාමාජිකයෝ දැඩි පරිශ්‍රමයක් දරා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වී එහි පාලනය රැඳවියන්ගෙන් මුදාගැනීමට කටයුතු කළහ.
මීට ස්වල්ප වෙලාවකට පෙර කඳවුරේ කලහ කරමින් රැඳී සිටි රැඳවියන් 256ක් හමුදාවට භාර වී ඇත.
මෙම පිරිස බස් රථ 05කින් රැගෙනවිත් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වැලිකන්ද පොලිසිය පැවසීය.
මේ වනවිට පැනගිය රැඳවියන් 35ක් යළි භාරවී ඇති අතර දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තවත් පිරිසක් තවමත් අතුරුදන්ය.
ඊයේ සිද්ධිය සිදුවන විට රැඳවුම් කඳවුරේ රැඳවියන් 456ක් පමණ රඳවා තබාගෙන පුනරුත්ථාපන කාර්යය වෙත යොමුකරවා තිබිණි.
ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවලින් මෑතකදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන ආ දෙපිරිසක් දියනෑමට ගිය අවස්ථාවේදී බාල්දියක් පිළිබඳ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතු වූ බවත් පසුව එය වර්ධනය වූ බවත් පොලිසිය හා හමුදාව පවසයි.
පුනරුත්ථාපනලාභීන් දෙන්නෙක් අතර ඇතිවී තිබෙන මෙම ගැටුම දුරදිග යන අවස්ථාවේ දී එය සමථයකට පත්කරන්නට ගිය හමුදාවේ පිරිසකට ගැටුමට එක් වී සිටි එක් පාර්ශ්වයක් පහරදී හමුදා නිල ඇඳුම්වලට ද හානි සිදුකර ඇත.
ගැටුම දුරදිග යෑමෙන් පුනරුත්ථාපනය ලබන රැඳවියන් එම කඳවුරේ වාහන හතරක් ඇතුළු රජයේ දේපළවලට දැඩි හානි සිදුකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කරයි.
මෙම ගැටුමත් සමග කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ සිටි රැඳවියන් සිව්දෙනකු සහ යුධ හමුදා සෙබළකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද මේජර් ජනරාල් හෙට්ටිආරච්චි කීවේය.
කලහකාරී ලෙස හැසිරුණු පුනරුත්ථාපන රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාව කඩා ඇති අතර කඳවුරේ හමුදාව සතුව තිබූ මුදල් මෙන්ම බඩු භාණ්ඩ රැසක් ඔවුන් විසින් රැගෙන ඇති බවද පුනරුත්ථාපන කඳවුරේ යුධ හමුදා නිලධාරියෙකු සඳහන් කළේය.
රැඳවියන් පහරදීම හේතුවෙන් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව අයත් බස් රථයක් සහ තවත් සෙසු වාහන හතරකට දැඩි ලෙසහානි සිදුව ඇති බවත්, රැඳවියන් සහ යුද හමුදාව භාවිත කළ රූපවාහිනී, ශීතකරණ, ඇඳන් මෙන්ම බඩු භාණ්ඩ රැසකටද ඔවුන් අලාභහානි සිදුකර ඇති බවත්, එම භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවත් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසීය.
පුනරුත්ථාපන කඳවුරේ රැඳෙවියන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමෙන් අනතුරුව එහි එක් කණ්ඩායමක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති අතර තවත් 256 දෙනකුට ආසන්න කණ්ඩායමයක් මධ්‍යස්ථානයේ ගොඩනැගිලි තුළ රැඳීසිටින බවද මේජර් ජනරාල්වරයා පැවසීය.
මීට ස්වල්ප වේලාවකට පෙර හමුදාවට භාර වූයේ මෙම පුද්ගලයින් 256 දෙනාය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව අධිකරණ නියෝග මත වසරක පුනරුත්ථාපන කාලසීමාවක් සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මෙම රැඳවියෝ යොමු කරති.
මෙම පිරිස එහි මාස හයක කාලයක් උපදේශන වැඩසටහන්වලට යොමු කරන අතර අනෙක් මාස හය සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවා විවිධ වෘත්තීය කටයුතු පුහුණු කරවති.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලිසිය, එම ස්ථානයට කැඳවා තිබුණද ඔවුන්ට කඳවුරු තුළට යෑමට ඉඩ දී තිබුණේ නැත. ඒ නිසා තත්ත්වය පාලනය කිරීමට අසීරු වී තිබිණි.
මෙම අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද එහි සිටි හමුදා නිලධාරියකුගෙන් බාධා එල්ල වූ අතර මෙම තත්ත්වයත් සමග යුධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය වාර්තා කිරීමට ඇණහිටියේය.
සවස තුනවන විටත් තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වාගේ උපදෙස් මත මනම්පිටිය වැලිකන්ද පුලස්තිපුර අරලගංවිල හිඟුරක්ගොඩ ලංකාපුර ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබිණි.
යුද හමුදාව මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විශාල පිරිසක් මෙම තත්ත්වය පාලනය කිරීමට පැමිණ සිටින ආකාරයක් දැකගත හැකි විය.
සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පැමිණි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මාධ්‍යයට අදහස් දක්වමින් මෙලෙස කීවේය.
ඒ සිද්ධියෙන් පස් දෙනෙක් තුවාල ලබලා තිබෙනවා. ඔවුන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළා. ඊට අමතරව කාර්ය මණ්ඩලයේ එක් අයෙක් තුවාල ලැබුවා. එයත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ ගැටුමෙන් පුනරුත්ථාපන කඳවුරේ දේපොළවලට හානි වී තිබෙනවා. ගැටුමත් එක්ක පලාගිය දොළොස් දෙනෙක් දැනට අපි බාරයට ඇරගෙන තියෙනවා. තවත් පිරිසක් ඒ අයට ගහයි කියලා කඳවුරු තුළම හැංගිලා ඉඳලා තිබෙනවා.
ගැටුමට සම්බන්ධ කණ්ඩායමක් සේනපුර පුනරුත්ථාපන කඳවුරට යවලා තිබෙනවා. අනිත් අය කලහකාරී ලෙස පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා.
කෙසේ වෙතත් මේ වනවිට එම කළහකාරීන් හමුදාවට භාර වී තිබේ. පලාගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ වී ඇත.
සිද්ධිය සම්බන්ධ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට අධිකරණ අමාත්‍යවරයාට නියම කර තිබේ.






