Home Local News Room : ඇමැති රමේෂ් පතිරණගේ ගෙදරින් රුපියල් කෝටියක් හොරු අරන් ගිහින්!...

News Room : ඇමැති රමේෂ් පතිරණගේ ගෙදරින් රුපියල් කෝටියක් හොරු අරන් ගිහින්! ඇමැතිගේ අල්මාරියට සල්ලි ආවේ කොහෙන්ද? පොලිස් පැමිණිල්ලක් දැම්මාද? ෆෝර්ම් පුරවද්දී කිව්වාද? ප්‍රශ්න කෝටියක් එළියට එයි!

1
0

රට පුරා ප්‍රචණ්ඩත්වය විසිරී ගිය ඉකුත් මැයි මස 9 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගිනි තබා එහි අල්මාරියක තිබූ රුපියල් කෝටියක මුදලක් කොල්ලකා රැගෙන ගිය තිදෙනකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන, වලහන්දූව සහ පෝද්දල හපුගල ප්‍රදේශවල පදිංචි තරුණයන් තිදෙනෙකි.

සැකකරුවන් තිදෙනා අතරින් එක් අයකු සිය බිරිඳගේ මව සමග ඇතිකරගත් ආරවුලකින් පසු ඇය විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව ඔවුන් කොටු කරගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 55 ක් සොයා ගැනීමට ද ගාල්ල පොලිසිය කටයුතු කර තිබේ.

රමේෂ් පතිරණ මහතාගේ නිවසේ අල්මාරියෙන් ඔවුන් රුපියල් කෝටිය ලබාගෙන දෙදෙනකු ලක්ෂ 30 බැගින් හා අනෙක් පුද්ගලයාට රුපියල් ලක්ෂ හතළිහක් වශයෙන්‌ බෙදාගෙන ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රමේෂ් පතිරණ මහතාගේ නිවසේ අල්මාරියෙන් තමන් මුදල් ලබාගන්නා අවස්ථාවේ ඒ තුළ තවත් මුදල් නෝට්ටු මිටි රැසක් තිබුණ බවත්, නිවසට ගිනි තැබීමට පැමිණි පිරිසේ සිටි පුද්ගලයන් එම මුදල් රැගෙන ගිය බවත් ඔවුන් අනාවරණය කර ඇත.

කෙසේවෙතත් මේ ආකාරයට රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසින් රුපියල් කෝටියක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හට බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා එම මුදල අස්ථානගත වීම සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය වෙත පැමීණිලි කර තිබුණේ යන්න ඉන් පළමුවැන්නය.

දෙවැනි ප්‍රශ්නය වී ඇත්තේ වන්දි පූරණය කිරීම සදහා ලබා දුන් පෝරමවල මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වාර්තා කොට තිබුණේද යන්නය.

එමෙන්ම ‌අමාත්‍යවරයා මෙම මුදල උපයාගත් ආකාරය ප්‍රකාශයට පත්කර තිබේද යන්න ඊළග ප්‍රශ්නයය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here