විෂ දුමක් ආඝ්‍රහණය වීමෙන් පානදුර ප්‍රාථමික විදුහලේ 39 දෙනෙකු අද (නොවැ. 2) රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර ප්‍රාථමික විදුහලේ 4 සහ 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් 36 ක්, පන්ති භාර ගුරු මහත්මින් සහ දරුවෙකුගේ මවක් රෝහල්ගත කර ඇති බව පාසලේ විදුහල්පතිනිය සඳහන් කර ඇත.
සිද්ධිය සැලවීමත් සමග දෙමව්පියන් පිරිසක් පාසල වෙත පැමිණ සිය දරුවන් රැගෙන යාමට කටයුතු කර ඇති අතර රෝගාතුර වූ දරුවන් ගිලන් රථයකින් සහ පෞද්ගලික වාහනවලින් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, විදුහල පිටුපසේ නිවසක කුණු ගොඩක වයර් සහ ටයර් කිහිපයක් කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු පිළිස්සීමෙන් ඇති වූ දුම ඊට හේතු වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළ බව ය.
කසල ගොඩේ තිබී පිළිස්සී ගිය වයර් සහ ටයර් කැබලි කිහිපයක් හමු වී ඇති අතර ප්‍රදේශයේ මත්කුඩු පානයට ඇබ්බැහිවූ පුද්ගලයින් දෙදෙනෙකු වයර් සහ ටයර්වල ඇති තඹ සහ කම්බි ලබා ගැනීම සඳහා එය පුළුස්සා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
අදාළ පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කර තිබේ.
ඉන් එක් සැකකරුවෙකු පාසලට ආසන්න කුලී නිවසක පදිංචි වී සිටින අතර ඔහුගේ බිරිඳ සහ එහි නේවාසිකව රැඳී සිටින කාන්තාවක, විදුහලට යාබද නිවසේ කාන්තාවන් තිදෙනෙකු ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පැවසූ බව වාර්තාකරු සඳහන් කළේ ය.