විපක්ෂයේ කණ්ඩායම්වලට උද්ඝෝෂණ කිරීමට නිදහස තිබුණද වල්බූරුවන් සේ එම නිදහස භුක්ති විඳීමට ඉඩ නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ඊයේ (01දා) පැවැසීය.
විපක්ෂයේ කණ්ඩායම් කොළඹදී අද (02දා) සංවිධානය කර ඇති උද්ඝෝෂණවලට සහභාගි වීමෙන් මහජනතාවට ලබාදෙන සහනය කුමක්දැයි එහි නායකයන් ප්‍රකාශ කළයුතු බවද සභාපතිවරයා කීවේය. රට වැටී තිබෙන තත්ත්වය අනුව ප්‍රජාතන්ත්‍රවාදීව කරන අරගලයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්දැයි විපක්ෂයේ නායකයන් මහජනතාවට කිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.
බෝඩ් එකක් අල්ලා සිටි පමණින් වැටුප් වැඩි කිරීමක්, රජයේ සේවයට බඳවා ගැනීමක් හෝ චක්‍රලේඛ අවලංගු කළ නොහැකි රටක විපක්ෂයේ නායකයන් පුරවැසියන් ලෙස මීට වඩා වගකීමෙන් හැසිරිය යුතු බවද මන්ත්‍රිවරයා පැවැසීය.
රට බංකොලොත් තත්ත්වයට වැටුණු පසු ඉන් ගොඩගන්නා අවස්ථාවක හැසිරිය යුතු ක්‍රමවේදයක් තිබෙන බවත්, කවුරුන් හෝ කණ්ඩායමක් යම්කිසි මැර ක්‍රියාවක් සිදුකරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අබේවර්ධන මහතා පැවැසීය.
ලෝකයේ කිසිම රටක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොහැසිරෙන ආකාරයට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළට ජාත්‍යන්තරයේ අවශ්‍යතා අනුව කටයුතු කරන කණ්ඩායම් ඇතුළු වී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විවිධ අරමුණු සඳහා යොදා ගන්නා බවත්, විශ්වවිද්‍යාලයෙන් එළියට ගිය පසු එම කණ්ඩායම් සිටින්නෙ කොතැනදැයි වසර තිහක් තිස්සේ අත්දැකීම් තිබෙන බවත් මන්ත්‍රිවරයා කීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සියලු දෙනා සහාය ලබාදුනහොත් ඔහු ශ්‍රී ලංකාව ආසියාවේ හා ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබනු ඇති බවත්, එවැනි නායකත්වයක් ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාවේ ජාතිය ඉන් ප්‍රයෝජන ගතයුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
අමිත් මධුරංග ගමගේ