විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟම පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් පිළිබඳව රටට හෙළිකිරීම සහ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරි කටයුතු සිදුකිරීම කථානායකවරයාගේ අත්හැරිය නොහැකි වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි. නාවල නිදහස ජනතා සභාව කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවැසීය. “21 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක සමාජයේ කතිකාවක් ගොඩනැඟිල තිබෙනවා.
ඒ තමයි විසි එක් වැනි සංශෝධනයත් එක්ක ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධව ඇතැම් සමාජ මාධ්‍ය ඇතුළේ පිළුණු කුණු රසයට ඉව අල්ලන ඇතැමුන් දැනුවත්ව විවිධ නාමලේඛන හිතාමතා ප්‍රචාරය කරනවා. එනිසා සමාජය තුළ විශාල සංවාදයක් ගොඩනැඟිල තියෙනවා. එක් අයකු හිටියා. ඔහු මුළු රටේම දන්නවා. ඔහු ද්විත්ව පුරවැසිභාවය අරගෙන තියෙනවා කියලා.
ඒ ඇරුණාම තවත් විවිධ නම් ප්‍රචාරය වෙනවා. එනිසා මේ ගැන හොයලා බලලා රටට ඇත්ත කියන එක කථානායකතුමාගේ වගකීමක්.
කිසිසේත් පැහැර හැරෙන්න බැරි වගකීමක්. මේක ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා කඩිනමින් කථානායකවරයාට තම තමන්ගේ සහාය සහ මාර්ගෝපදේශයන් පළ කළ යුතුයි.
21 සංශෝධනය වූ පසු කථානායකතුමාගේ අස්සන යෙදුවාට පස්සෙ මේක රටේ මූලික නීතියක් බවට පත් වෙනවා. මේ නීතිය මඟ ඇරලා කවුරුහරි පාර්ලිමේන්තුවේ ඉන්නව නම් අපිට කියන්න වෙන්නේ ඔහු තක්කඩියෙක් කියලයි. එහෙම නැත්නම් වංචනිකයෙක් කියලා. මේකට පක්ෂ පාට අදාළ වෙන්නේ නැහැ.
මිනිස්සු මේ ගැන සැක කරන එකත් සාධාරණයි. මොකද ඇතැම් දේශපාලනඥයෝ කල්පනා කළා ද්විත්ව පුරවැසිභාවයෙන් නම අයින් කරගන්නවට වෙනුවට රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ලේසියි කියලා.
එහෙම කල්පනා කරපු දේශපාලකයෝ හිටපු රටක් මේක. එනිසා මහජනතාව සැක කරන එක සාධාරණයි.
සංශෝධනයට අස්සන කථානායකතුමා තැබුවාට පස්සෙ ද්විත්ව පුරවැසියකු වූ මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි විය යුතුයි.
කථානායකතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නේ. මේක අමාරු දෙයක් නෙමේ බොහොම සරල කටයුත්තක්. ද්විත්ව පුරවැසි හොයන එක ශ්‍රාවකයන්ට රහතුන් හොයනව වගේ සාමාන්‍ය ඡන්දදායකයන්ට මේක හොයන්න ඉඩ ඇරලා ඉන්න එක පාලකයන් සහ පාර්ලිමේන්තුව විදිහට වැරැද්දක්.
තමන් ඡන්දය දුන්නු මන්ත්‍රිවරයා ද්විත්වද ත්‍රිත්වද එයා කේවලද කියල දැන ගැනීමේ පහසු පරිසරයක නෙමේ රටේ මිනිස්සු ඉන්නේ.
ඇත්ත රටට හෙළි කරන එක ව්‍යවස්ථාව සංශෝධනය වුණායින් පස්සේ පුරවැසිභාවය හංගාගෙන ඉන්නව නම් ඔහු හෝ ඇය වංචනික ක්‍රියාවකට හවුල් වන්නෙක් කියන එක නීතියෙන් පැහැදිලිව අවධාරණය වෙනවා.
එනිසා මේ උත්තරීතරයි කියන සභාව තුළ, උත්තරීතරයි කියන ව්‍යවස්ථාව ඇතුළේ එවැනි වංචනිකයන්ට රැඳෙන්න අවස්ථාව නොදිය යුතුයි. එක මොන පක්ෂයෙන්ද මොන පළාතෙන්ද කියලා අදාළ වෙන්නැහැ.”