Home Local News Room : ජනතාවට දේශපාලනය එපා වෙලා පක්‍ෂ පිළිකුල් වෙලා

News Room : ජනතාවට දේශපාලනය එපා වෙලා පක්‍ෂ පිළිකුල් වෙලා

2
0

මහජනතාවට දේශපාලනය එපා වී දේශපාලන පක්‍ෂ පිළිකුල් වී ඇතැයිද එම  යථාර්ථය අප පිළිගත යුතු යැයිද ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ පසුගියදා පැවැසීය.

ලාංකිකයන්ගේ සාමාන්‍ය දැනීම මෙන්ම ජීවන කුසලතාද වේගයෙන් පිරිහෙමින් යමින් ඇතැයි කී හෙතෙම නිධානයක් මත සිට හිඟාකන ජාතියක් බවට ලාංකිකයන් පත්ව ඇති බවට කෙරෙන ප්‍රකාශ නිවැරැදි යැයිද රණසිංහ මහතා කීය.

රටක අනාගතය තීරණය වන්නේ වර්තමාන තාරුණ්‍යයේ දක්‍ෂතා හා කුසලතා මත යැයිද මනා විනයකින් සංයමයකින් යුතු තරුණ පිරිස රටට මහත් සම්පතක් යැයිද රණසිංහ මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ තරුණ පරපුරේ විශිෂ්ටයන් ඇගයීමට පසුගිය 29දා ගලධාරි හෝටලයෙහි පවත්වනු ලැබූ “New Generation Awards 2022” සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

නව පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ආකල්ප මනා ලෙස හඳුනාගත් Women in Management ආයතනය විසින් නව තාක්‍ෂණය, සමාජ මාධ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය, ක්‍රීඩාව වැනි ක්‍ෂේත්‍ර ගණනාවක නිපුණත්වයට පත්වූ තරුණ පරපුරේ විශිෂ්ටයන් ඇගයීමට මෙම  සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණි. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉතා කාලෝචිත හා ඵලදායී වැඩසටහනක්. අභියෝගාත්මත අවස්ථාවක ආර්ථික බාධා විශාල වශයෙන් තිබෙන වෙලාවක සන්මැච් ආයතනයේ අධ්‍යක්‍ෂ ගෞර්වි රාජන් මැතිතුමිය සියලු දෙනාගේ සහයෝගය හැකි අයුරින් ලබාගෙන නිසි කළමනාකාරිත්වයක් තුළ අප රටේ තාරුණ්‍යය දිරිමත් කිරීමට, ඇගයීමට මෙම වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මා හට ආරාධනා කිරීම මා ලැබූ විශාල ගෞරවයක්.

ප්‍රංශය, ජපානය වැනි බොහෝ රටවල තරුණ කටයුතු වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් නැහැ. වෙනත් අමාත්‍යාංශයක් යටතේ තමයි තරුණ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. තරුණ සේවා සභාව කියා ආයතනත් බොහෝ රටවල නැහැ. අපේ තාරුණ්‍ය වෙනුවෙන් පරිපාලන සැලැස්ම ඉතා හොඳින් සැකසී තිබෙනවා. හැබැයි අපි ඒ සියලුම සැලසුම් තිබියදී තාරුණ්‍යය වෙනුවෙන් සියලුම වගකීම් ඉෂ්ට කළාද කියා විමසුවොත් හෘද සාක්‍ෂිය අනුව එය කිසිසේත් අනුමත කළ නොහැකියි.

අපි පසුගිය දිනක ජාතික තරුණ සේවා සභාවේදී “අනාගත තාරුණ්‍ය” ඒකාබද්ධ සැලැස්මක් එළිදැක්වූවා. වසරකට අප වෙත පැමිණෙන ලක්‍ෂ 3ක් වන තාරුණ්‍යයේ වගකීම භාර ගන්නේ කෙසේද යන්න එහිදී පෙන්වා දුන්නා. අපේ රටේ සාමාන්‍ය දැනීම වගේම ජීවන කුසලතා දිගින් දිගටම පිරිහිලා යනවා. කඩා වැටීමක් අපිට පේනවා. මම දැක්කා එක නායක හාමුදුරුනමක් අනුශාසනා කර තිබුණා “අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක්” කියලා. ඒ කතාව හරි. මේ වෙලාවේ මේ රටේ ජනතාවට දේශපාලනය අප්‍රසන්නයි. දේශපාලන පක්‍ෂ පිළිකුල් වෙලා තිබෙන්නේ. ඒක තමයි යථාර්ථය.

මම ව්‍යාපාරිකයෙක් ලෙස ගොඩනැඟුණේ, දියුණු වුණේ ජපානයේ ආභාෂය සමඟ. අපි මේ රට දියුණු කරන්න ජපානයේ ආදර්ශය ගත්තා නම් ඇති. අධිෂ්ඨානය, ඉවසීම, විනය, කැපවීම, ඉවසීම වැනි ගුණාංග තුළ තමයි ජපානය දියුණු වූයේ. අපේ තිබෙන සම්පත් එක්ක මේ රට දියුණු කළ  හැකියි. ගොඩක් වෙලාවට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. එය ඉතාම වැදගත්.මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා මහාචාර්ය රවි දිසානායක මහතා, ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා මහතා, සන්මැච් ආයතනයේ අධ්‍යක්‍ෂ ගෞර්වි රාජන්  මහත්මිය, ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here