ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැඩි අවදානම් සහිත පවුල් 24,935ක් හඳුනාගෙන ඇති බවත් එම පවුල් අතර දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 805 දෙනකු සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැඩි අවදානම් සහිත පවුල්වල ගැබිනි මවුවරුන් 1,818 දෙනකු සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ වාර්තා වී ඇති ආහාර සුරක්ෂිතතාව අඩු පවුල් අතරින් වැඩිම පවුල් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම පවුල් සංඛ්‍යාව 2,234ක් බවද හෙතෙම පවසයි. අඩුම පවුල් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම පවුල් සංඛ්‍යාව 233කි.
ආහාර සුරක්ෂිතතාව අඩු පවුල් සඳහා සෙනෙහස ප්‍රජා සත්කාරය නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි. ඒ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය.
දැනටමත් ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව අඩු පවුල් 8,000ක් සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා දානපතියන්ගේ උදවු උපකාර මත වියළි ආහාර ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට සෙනෙහස වැඩසටහන මඟින් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා මිලියන 56ක මුදලක් වැයකරලා තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන 50ක් කැඳවලා මෙම පවුල් සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපි සාකච්ඡා කළා. ඉදිරියේදී එම පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට ග්‍රාමීය ආර්ථික කමිටුව හරහා කටයුතු කරනවා. මීට අමතර පෙර පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන පවුල්වල දරුවන් සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල _ කමල් විජේහේවා, මිතුන් ජයවර්ධන