කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකපිට පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති තිබේ.
පොලිසිය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරට ත් විමර්ශන ක්‍රියාත්මක බව ය.
පහර දීම සම්බන්ධයෙන් ඒ අසල විහාරස්ථානයක හිමිනමක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (ඔක්. 31) රාත්‍රී ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා තිබිණි.
කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු එහි ගොස් තිබුණු අතර එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් 150 දෙනෙකු පමණ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී සිට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසීන් පහර දීමට උත්සහ කර ඇති අතර ඔහුගේ රාජකාරී ගිනිඅවිය ද උදුරා ගැනීමට තැත් කර තිබිණි.
එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා අහසට වෙඩි තැබීමක් සිදු කර පිරිස විසුරුවා හැරීමට උත්සහ ගෙන ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසීන් පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු විසින් එය වැළැක්වීමට පියවර ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසීය.පසුව එම පිරිස අදාළ සැරයන්වරයාට පහර දී තිබිණි.
පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් තිබුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම අවස්ථාවේදී සැරයන්වරයා මියගොස් ඇති බව ය.
එලෙස මියගොස් තිබුණේ, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන්වරයෙකි.