ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්
ආණ්ඩුව මෙවර අයවැයෙන් බිලියන 19.1ක් පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා මුදල් වෙන් කළ බව සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙසේ ද පැවසීය.
රජයේ පාසල්වල ලක්ෂ 43ක් ළමුන් නැහැ. රජයේ පාසල්වල ළමුන් සිටින්නේ ලක්ෂ 41යි. කිසිම දවසක ලක්ෂ 41ටම දිවා ආහාර ලබා දී නැහැ. මේ යටතේ පාසල් දරුවන් ලක්ෂ 11 වෙනුවෙන් දිවා ආහාරය ලබා දෙනවා. මෙරට සමස්ත පාසල් දූ දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් හා දිවා ආහාරය ලබාදීමට වැඩසටහනක් ක්‍රියාත්මක වූ බවට මතකයේ නෑ. එවන් වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබේ නම් ඒ පිළිබඳ තොරතුරු ලබන පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
මෙරට ලක්ෂ හතලිස් එකක් පමණ වන පාසල් දූ දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර දිවා ආහාරය දැනට ලබා දෙන්නේ තෝරා ගත් පාසල් 7800ක පාසල් දූ දරුවන් එකොළොස් ලක්ෂයක් වෙනුවෙන් පමණයි. මෙරට සමස්ත පාසල් දූ දරුවන් වෙනුවෙන් වුවද දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නැහැ.
මෙවර මහපොළ ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් 15000කගේ පමණ ගෙවීම් සම්බන්ධයෙන් යම් ප්‍රමාදයක් ඇතිව තිබුණා. ඒ කටයුතු දැන් කරගෙන යනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහපොළ අරමුදල යන ආයතන එක්ව මෙම කටයුතු සිදුකර ගෙන යනවා. ඒ වගේම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් තමයි මේ මුදල් සම්පාදනය කරන්නේ. ආදායම් මට්ටමින් පහළ අයට තමයි මේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලබා දෙන්නේ.
ඒ වගේම හඳුනාගත් පාසල්වල විශේෂයෙන්ම දරුවන් දෙසීයකට අඩු පාසල්වලට තමයි මෙහිදී ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ. ඒ යටතේ පාසල් 7800ක් දිවයින පුරා පළාත් සභාවේ පාසල්වලට මේ මුදල් ලබා දුන්නේ මුදල් කොමිසම මඟින්. මුදල් කොමිසම මඟින් ලබාදෙන නිර්දේශ අනුව පළාත් සභාවලට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරය මඟින්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා. මාර්තු 31 වන තෙක් එම ප්‍රතිපාදන ලබාදීම ප්‍රමාද වූ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී ලෝක බැංකු වැඩසටහන යටතේ මාර්තු 31 වන තෙක් ක්‍රියාත්මක වූ ආහාර ලබාදීමේ ක්‍රියාවලියට අදාළව මුදල් නිකුත් කිරීම් සිදුකරමින් තිබෙනවා. ඉතිරි මුදල් මුදල් කොමිසමේ නිර්දේශ මත ඒ ඒ පළාත් සභා වෙත ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
මෙරට සමස්ත දූ දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි මෙහෙ පාසල් ගිය අයනේ. සමස්ත පාසල් දරුවන්ට නිල ඇඳුමයි, ආහාරයි යන දෙකම ලබාදී නැහැ. නිල ඇඳුම් ලබා දී තිබෙනවා. ඒ වගේම ඔබතුමා ඉල්ලා සිටින වාර්තාවක් පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන්නට හැකියාවක් නැහැ. ලබන පාර්ලිමේන්තු රැස්වීම්වලදී ඉදිරිපත් කරන්නම්. ඕනෑ මොන කාල සීමාවෙද කියලා මට කියන්න. 1993 කියන්නේ වසර 30කට පෙර. ඒ වාර්තා සොයන්නට ඕනෑ. ඔබතුමා කියන ආකාරයට 43 ලක්ෂයටම දිවා ආහාරය ලබා දුන්නා කියන එක මගේ දැනුමේ හැටියට නම් නැහැ. නමුත් මම 1995 සිට 2000 දක්වා බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැති හා අධ්‍යාපනය භාර ඇමැති.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාසල් දරුවන්ට දිවා ආහාරය, පාසල් නිල ඇඳුම් ලබා දුන්නා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මෙරට හතලිස් තුන් ලක්ෂයක් වූ පාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාරය හා පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1993 වසරේදී ක්‍රියාත්මක කළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ මෙරට දූ දරුවන්ගේ පෝෂණ ක්‍රියාවලිය ඉහළ නැංවීම වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවට සඳහන් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය.
කිසිදු භේදයකින් තොරව සියළුම පාසල් දූ දරුවන් වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේදී සියළුම පාසල් දූ දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් හා ආහාර ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන 1994 දී බලයට පත්වූ ආණ්ඩුව නවතා දැමුවා.
මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගන්නා බව පොලිස් ප්‍රධානීන් මට දැනුම් දුන්නා
කථානායක මහින්ද යාපා අබේවර්ධන
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් ප්‍රධානීන් මට දැනුම් දුන් බවත් පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධා කිරීමට නොහැකි බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඊයේ (07) පැවැති විවාදය අතරතුරදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වීම හේතුවෙන් ද පාර්ලිමේන්තුවේදී ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.
උසාවියට කරුණු වාර්තා කර ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්නා. එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතියට බාධා කළ නොහැකියි.
කෙසේ වුව ද පොන්නම්බලම් මන්ත්‍රීවරයා කිලිනොච්චි උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත පාර්ලිමේන්තුවට සහභාගි කරවන බවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා හා අදාළ පොලිස් නිලධාරියා මට කතා කළා.
පොලිසියේ ඉහළ නිලධාරීන් මට මේ සිද්ධිය වාර්තා කළා. උසාවියට කරුණු වාර්තා කරලා කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්නා. එතුමාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතියට බාධා කරන්න කිසිම කෙනකුට බෑ. පොන්නම්බලම් මන්ත්රීතුමාත් පොලිසියේ අයත් ඩීඅයිජී මහත්තයාත් මේ සම්බන්ධයෙන් මට කතා කළා. අද ඔහු කිලිනොච්චි උසාවියට ඉදිරිපත් කරලා ආපහු පාර්ලිමේන්තුවට සහභාගි කරනවා කියලා කිව්වා. ඒක තමයි ඒ අයගේ සැලැස්ම. ඒ රාජකාරියට බාධා කරන්න අපිට බැහැ. උසාවියට ඉදිරිපත් කිරීම ඒ අයගේ වගකීමක්. ඒ තත්ත්වය තමයි වාර්තා වෙලා තියෙන්නේ.
පසුගිය ආණ්ඩුවේ වැරැදි තීරණ හේතුවෙන් ගොඩනැඟුණු කර්මාන්ත බිඳ වැටුණා
මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා
කොවිඩ් වසංගත තත්ත්වය යම්තාක් දුරට පාලනය වීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟුණු කර්මාන්ත අංශය පසුගිය ආණ්ඩුවේ වැරැදි තීරණ නිසා යළිත් බිඳ වැටීමට ලක්වුණ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවැසීය.
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය මුහුණපාන ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කෙළේය. තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
2021ට සාපේක්ෂව 2022 වසරේ කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 16කින් පහළ වැටුණා. ව්‍යවසායකයන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී කටයුතු කළ යුතුයි.
ඇතිව තිබෙන කරුණු සලකා බලා කර්මාන්ත ක්ෂේත්රයේ උන්නතිය සඳහා ධනාත්මක වැඩපිළිවෙළක් ආණ්ඩුව කඩිනමින් දියත් කළ යුතුයි.
2022 දී අපනයන ආදායම ඩොලර් බිලියන 13.1ක් වුණා
ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ
මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් බිලියන 13.1ක් 2022 වසරේ දී උපයාගෙන ඇතැයි වැවිලි හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවැසීය.
කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය මුහුණ පාන ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසිය. ආර්ථික, විදුලි. ඉන්ධන ඇතුළු අර්බුද රැසක් තිබියදී මේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූණා. ඒ සඳහා සහාය දුන් සුළු හා මධ්‍ය පරිමාන සියලු කර්මාන්තකරුවන්ට ජාතියේ ප්‍රණාමය පුදකර සිටිනවා.
මේ වසරේ මුල් මාස හතරේ දී පමණක් ඩොලර් බිලියන 1.6ක අපනයන ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
මීට අමතරව ඉලෙක්ට්‍රික් උපකරණ අපනයනය කිරීමෙන් 2022 වසරේ දී අමෙරිකන් ඩොලර් මිලියන 483ක්, ලුහු ඉංජිනේරු උපාංගවලින් ඩොලර් මිලියන 177ක්, රබර් නිෂ්පාදනවලින් අමෙරිකන් ඩොලර් බිලයන 01.07ක්, සෙරමික් අපනයනයෙන් ඩොලර් මිලියන 38ක්, තෑගි භාණ්ඩ නිෂ්පාදනවලින් ඩොලර් මිලියන 110ක් උපයාගෙන ඇති බවත් එය මෙරට ඉතිහාසයේ එම අංශවලින් ඉපයූ වැඩිම ආදායමයි.
ලක්සල අතරමැදියන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමෙන් ගැටලු මතුවෙලා
මන්ත්‍රී රවුෆ් හකීම්
ලක්සල ආයතනය කර්මාන්තකරුවන්ගෙන් සෘජුව නිෂ්පාදන නොගෙන අතරමැදියන් හරහා ලබා ගැනීම නිසා එම නිෂ්පාදකයන්ට නිසි මිලක් ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව නුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවැසීය. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය මුහුණපාන ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ජාතික ශිල්ප සභාව, මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. කොවිඩ්, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේම ආර්ථික අර්බුදයෙනුත් රට ආර්ථික වශයෙන් වැටිලා තිබෙන්නේ. එහිදී කර්මාන්තකරුවන් විශාල අර්බුද රැසකට මුහුණ දීලා ඉන්නවා. ඒ අයට බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමත් එක්ක අපිට ණය නොගෙවා අපේ ආදායම වැඩි කරගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එහි වාසිය කර්මාන්තකරුවන්ටත් ලබාදිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.
දේශීය කර්මාන්තවල වර්ධනය ආරක්ෂා කරගන්න උපායමාර්ග වැදගත්
මන්ත්‍රී අනුර කුමාර දිසානායක
දේශීය කර්මාන්තවල ඇති වී තිබෙන වර්ධනය ආරක්ෂා කර ගැනීමේ අරමුණ සහිතව උපාය මාර්ග සකස් කිරීම මෙන්ම ආනයන සීමා කිරීම් සිදු කළ යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමෙන්තුවේ ඊයේ (07) පැවැති විවාදයට එක් වෙමිනි. තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය. ආනයන සීමාවන් ඉවත් කළහොත් දැනට වර්ධනයක් දක්නට ලැබෙන දේශීය කර්මාන්තයේ වර්ධනය පවා ඇනහිටීමේ අවදානම පවතිනවා. එබැවින් තීන්දු තීරණ ගැනීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් දේශීය කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පරාටා නීතිය මඟින් ව්‍යාපාර පවරා ගැනීම නතර කළ යුතුයි. ව්‍යවසායකයින් අද අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. ඕනෑම කර්මාන්තයක් ගත් විට සියලු දෙනාම පාහේ සුළු වශයෙන් ආරම්භ වූ ඒවා. හතු පිපෙනවා වගේ ආරම්භ වූ ඒවා නොවෙයි. අවුරුදු ගණනක්, දශක ගණනක් ක්‍රමානුකූලව ගොඩනඟන ලද ව්‍යාපාර නැවත බිඳ වැටුනොත් දැන් තිබෙන තත්ත්වයෙන් ආරම්භ කරන්නට බැහැ.
නොතාරිස් ආඥා පනතට මාස දෙකක් ඇතුළත සංශෝධන ගේනවා
ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ
නොතාරිස් ආඥා පනත සඳහා ලබන මාස දෙක ඇතුළත සංශෝධන ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථා කටයුතු සම්පාදක ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කෙළේය.
ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (07) පැවැති විවාදය අතරතුර පැහැදිලි කිරීමක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
නොතාරිස්වරු පැවරුම් ඔප්පු ලිවීමේදී එම කටයුතු සිදුකළ යුත්තේ විකිණීමේ ගනුදෙනුවක් සිදුව තිබේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයකින් යුතුවයි. එසේ නොවුනහොත් නොතාරිස්වරුන්ටද දඬුවම් විඳීමට සිදු වෙනවා.
ඇතැම් නොතාරිස්වරුන් මූල්‍ය ආයතනවල ඉල්ලීම මත වගකීමකින් තොරව ලියන්නම්වාලේ ඔප්පු ලියනවා. මෙම සංශෝධන සිදු කිරීමෙන් පසුව නොතාරිස්වරුන්ට එලෙස කටයුතු කිරීමට නොහැකි වෙනවා.
යම් ආයතනයකට, බැංකුවකට වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයකට වෙන්න පුළුවන්, යම් දේපොළක් උකස් කර මුදල් ලබාගැනීමෙන් පසුව ගෙවා ගන්නට බැරි වුණොත් දිසා අධිකරණයේ නඩුවක් පැවරිය හැකියි. ඒකට විකල්පයක් ලෙස රාජ්‍ය බැංකුවලට වරප්‍රසාදයක් ලබා දී තිබුණා. නිසි පරිදි මුදල් ගෙවන්නේ නැත්තම් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය තීන්දු කරලා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්නට පුළුවන්. පරාටේ එක්සිකියුෂන් භාවිත කරන්නේ ඔය කටයුත්තටයි. 1990 දී අංක 4 කියලා අලුතින්ම පනතක් හඳුන්වා දුන්නා. බැංකුවලින් ලබාදෙන ණය නැවත අයකර ගැනීමේ පනත ලෙසයි හඳුන්වා දුන්නේ.





