කුලී රථ රියැදුරන් මත් කර ඔවුන් සතු රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකන කල්ලියක් රට පුරා මේ වන විට ක්‍රියාත්මකව සිටින බවට පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී තිබේ.
කාන්තාවක ද මෙම කල්ලියට සම්බන්ධ බවත් එම තොරතුරුවල සඳහන්ය. රියැදුරුට සැකයක් ඇති නොවන ලෙස අතදරුවකු ද එම කාන්තාව රැගෙන යන බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙම කාන්තාව සමඟ පිරිමින් දෙදෙෙනකු සිටින බවත් ඒ අය කුලී ගමන් යන මුවාවෙන් වාහනවලට ගොඩ වී රියැදුරන් සමඟ කුලුපග වන බවත් පොලිසිය කියයි. අනතුරුව මේ අය රියැදුරන්ට මත්පෙති හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් කලවම් කර ඇති පැණි බීම වර්ගයක් බොන්නට දී හෝ වෙනත් ආහාරයක් කෑමට දී මත් කර කොල්ලකෑම්වල නිරතව සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම කල්ලියේ ඉලක්කය බවට පත්වන්නේ අතේ කරේ රන් භාණ්ඩ පැලඳ ඇති රියැදුරන් බව ද එම නිලධාරියා කීය.
මෙසේ පන්නල පදිංචි රියැදුරකුව ද මත් කර මෙම කල්ලිය පසුගිය 25 වැනිදා පන්නල නැහිනිගමදී ත්‍රිරෝද රථ රියැදුරකුව කොල්ලකා තිබේ.
කුලී ගමනක් යන මුවාවෙන් මෙදින සිය ත්‍රිරෝද රථයට කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු ගොඩ වූ බවත් ඒ අය අතරමඟදී පැණි බීම පානය කරමින් තමාට ද පැණි බීම බොන්නට දුන් බවත් රියැදුරු පවසා ඇත. එම පැණි බීම පානය කිරීමෙන් මඳ වේලාවකට පසු තමන්ට සිදු වූයේ කුමක්දැයි රියැදුරුට මතකයක් නැති බවත් ඔහුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 07කට ආසන්න වටිනාකමක් ඇති රන් මාලයක් රුපියල් 86,000ක් වටිනා ජංගම දුරකතනයක්, රුපියල් 12,000ක මුදලක් සහ රුපියල් 8,000ක් වටිනා අත්ඔරලෝසුවක් කොල්ලකා ඇති බවත් පන්නල පොලිසිය කියයි.
දින කිහිපයක් රෝහල්ගතව සිටි රියැදුරු මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ පෙරේදා (30)ය. ත්‍රිරෝද රථ රියැදුරු සුළු ව්‍යාපාර කටයුතුවලට ද සම්බන්ධ අයකු බවත් කල්එළියේ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ