මොරටුවේ එගොඩ උයනේදී 1928 දෙසැම්බර් පස්වැනිදා මෙලොව එළිය දුටු වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා පසු කාලයක අමරදේව නමින් බෞතීස්ම කරනුයේ මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි. ලක්නව්හි භාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලබන අමරදේව, පෙරදිග සංගීතයේ අභිමානවත් ලාංකේය නියෝජිතයා විය. සප්ත ස්වරයෙන් අපරිමිත පෙළහර පෑ මේ මහා ගාන්ධර්වයාණෝ 2016 වසරේ නොවැම්බර් තුන්වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිය දිවිසැරිය නිම කළහ. ගායකයන්, සංගීතඥයන් අනන්තවත් ඉපිද මියගොස් ඇති ශ්‍රී ලංකාවේ අමරදේවයන් සදානුස්මරණීය වනුයේ දශක හතකට වැඩි කාලයක් ඔහු ඉටුකළ සංගීත මෙහෙවර නිසාම නොවේ. භාරතයට මොහොමඩ් රාෆී මෙන් ලංකාවට අමරදේව යනු වෙනමම ‘අයිකන් එකක්’ විය. එහෙත් මේ විශ්ව පුරවැසියා වෙනුවෙන් ලංකාවේ අප යුතුකම ඉටුකළේදැයි ඔහුගේ අභාවයට සත් වසරක් පිරෙන මේ මොහොතේ හෝ සලකා බැලිය යුතුමය.
පිලිපීන රමෝන් මැග්සයිසායි සම්මානය, ශ්‍රී ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය, ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය සහ ඉන්දියානු රජය පිරිනමන පද්ම ශ්‍රී සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලද අමරදේවයන් ලාංකේය සංගීතයට කළ මෙහෙය අතිමහත්ය. ගුවන්විදුලි ගායන ශිල්පියකු, මෙන්ම විශිෂ්ට ශ්‍රේණියේ සංගීත අධ්යක්ෂවරයකු වූ අමරදේවයෝ රන්මුතුදූව, ගම්පෙරළිය, සාරවිට, ගැටවරයෝ ඇතුළු විශිෂ්ට ශ්‍රේණියේ සිනමා පට ගණනාවකට සිය සංගීතයෙන් පණපොවන්නට සමත් වූහ. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කරගනිමින් ඔහු පෑ පෙළහර හා සමවන්නට තවමත් කිසිවකු සමත්ව නැත.
අමරදේවයන්ගේ අභාවය රටක් ලෙස මුළු ශ්‍රී ලාංකාවම කම්පා වූ අවස්ථාවකි. මේ අසම සම සංගීත ශිල්පියාගේ අභාවය සිදුවූ මොහොතේ රාජරාජ මහාමාත්‍යාදීන් අමරදේවයන්ට ගෞරව පිණිස අනාගතයේ බොහෝ දේ කරන්නට පොරොන්දු වූහ. ඒ අතරින් වඩාත් ආකර්ෂණීය පොරොන්දුව වූයේ අමරදේවයන් අනුස්මරණය කරමින් සෞන්දර්ය හා සංගීත පර්යේෂණ කේන්ද්‍රයක් ආරම්භ කිරීමේ යෝජනාවයි. එදා ඒ පොරොන්දුව සංගීතය ගැන හෝ අමරදේවයන් ගැන උනන්දුවක් නොදැක්වූ අය තුළ පවා අමුතුම උද්යෝගයක් ඇති කරන්නට සමත් විය. සැබැවින්ම අප සිතුවේ ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි අපූරු කලා ආශ්රමයක් නුදුරේදීම මෙරට ඉදිවනු ඇතැයි කියාය. ඉන්ද නොනැවතී අමරදේවයන්ගේ චරිතය, නිර්මාණ ප්‍රතිභාව මතු පරපුරට හදාරන්නට හැකි අධ්‍යයන කේන්ද්‍රයක් එහි ස්ථාපිත කරන්නටත්, අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට එකී පර්යේෂණ කේන්ද්‍රයේ ‘අමරදේව අසපුව’ නමින් විශේෂ ස්ථානයක් ඉදිකිරීමටත් නියමිතව තිබිණි.
දේශපාලනඥයන් නානාප්‍රකාර පොරොන්දු ලබාදීමද ඒවා කඩකිරීමද සම්ප්රදායක් බවට පත්ව ඇති රටක අමරදේව අනුස්මරණ සෞන්දර්ය හා පරයේෂණ කේන්ද්‍රය සැබෑවක් වනු ඇතැයි අප විශ්වාස කළෙමු. එකී විශ්වාසය තව දුරටත් තහවුරු කරමින් 2018 සැප්තැම්බර් 03 වැනි දින එකී පරයේෂණ කේන්ද්‍රය සඳහා වන ගැස්ට් නිවේදනය නිකුත් කරන්නට එවක පැවැති යහපාලන රජය කටයුතු කළේය. 2018 අංක 27 දරන අමරදේව අනුස්මරණ සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය නමින් නිකුත්වූ එම ගැසට් පත්‍රය ඔබටද අන්තර්ජාලයෙන් බාගත කර කියවා බැලිය හැකිය. ගැසට් නිවේදනය නිකුත්කර සිවු වසරක් ඉක්ම ගියද අදටත් ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් කළ දෙයක් නැත. වාර්තා වන ආකාරයට යහපාලන ආණ්ඩුව පෙරළීමත් සමග එකී අනුස්මරණ කේන්ද්‍රය සහ අමරදේව අසපුව ඉදිකිරීම ලත් තැනම ලොප්වී ඇත. එහෙයින් මේ මහා ගාන්ධර්වයාගේ භෂ්මාවශේෂ වසර හයකට ආසන්න කාලයක් දේහය පිළිබඳ අවසන් කටයුතු කළ පෞද්ගලික මල්ශාලාවේ ඔහේ තබා තිබිණි. මහජන මුදලින් තම මවුපියන් වෙනුවෙන් සොහොන් කොත් දෙකක් ඉදිකිරීම නිසා අධිකරණය හමුවේ නඩු පැවරුණු ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයකුට අමරදේවයන් වෙනුවෙන් සොහොන් කොතක් බැඳදීමට අමතක වීම ජාතියේ කරුමයක් ලෙසින් මිස අන් විලසකින් හැඳින්වීමට මේ ලියුම්කරුට සිත්වන්නේ නැත. එමතුදු නොව පසුගිය මැයි නවවැනිදා ගාලුමුවදොර ප්‍රහාරයට පසුව ඇතිවූ පශ්චාත් ප්රචණ්ඩ ක්රියාවන්හිදී විරෝධතාකරුවන් විසින් බිමට පෙරළා දැමූ ඩී.ඒ. රාජපක්ෂ ප්‍රතිමාව මේ වන විට යළි සිටුවා අවසානය. ඉන් කියැවෙන්නේ වුවමනාවක් තිබුණා නම් අමරදේවයන් වෙනුවෙන් අසපු සෑදීම කෙසේ වෙතත් සුසානාගාරයක් සාදවා භෂ්මාවශේෂ තැන්පත් කිරීම ආණ්ඩුවට පහසුවෙන් කිරීමට හැකියාව තිබූ බවය.
අමරදේව අනුස්මරණ කේන්ද්‍රය සහ අසපුව ඉදිකිරීම ආණ්ඩුව පැහැරහැරීම නිසා ජාතියේ මහා ගාන්ධර්වයාගේ භෂ්මාශේෂ වසර 6කට ආසන්න කාලයක් තැන්පත් කර තිබුණේ පෞද්ගලික මල්ශාලාවකය. මල්ශාලාව පෞද්ගලික වුවත් ලෝකයටම වටිනා මේ සංගීතඥයාගේ භෂ්මාවශේෂ හය වසරකට වැඩි කාලයක් ආරක්ෂා කිරීමෙන් ඔවුන් ඉටුකර ඇත්තේ ජාතික කර්තව්‍යයකි. ආණ්ඩුවට, කලා සංවිධාන සහ දේශප්‍රේමී බලවේගවලට මුළුමනින්ම අමතකව ගිය අමරදේවයන්ගේ භෂ්මාවශේෂවලට අවසානයේදී සිය අවසාන නවාතැන වෙත පැමිණීමට හැකි විය. ඒ, අමරදේවයන්ගේ සිසුවියක වන විශාරද නන්දා මාලනියට පින් සිදුවන්නටය. තමාට පමණක් නොව ජාතියටම ගුරුවරයෙකු වූ අමරදේවයන්ගේ භෂ්මාවශේෂවලට වගකිවයුතු පාර්ශ්වයන් කරන නිග්‍රහය තවදුරටත් බලාසිටිය නොහැකි වූ නන්දා මාලනිය බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ සිය පොද්ගලික මුදලින් සුසානාගාරයක් ඉදිකොට අමරදේවයන් සිය අවසාන නවාතැන වෙත රැගෙන ගියාය.
මෙවන් ඛේදනීය ඉරණමක් උරුම වූයේ අමරදේවයන්ට පමණක් නොවේ. අමරදේවයන් ගිය මඟට හාත්පසින්ම වෙනත් මඟක ගිය ප්‍රකට පුද්ගලයකුගේ භෂ්මාවශේෂද අදටත් භාරකරුවකු නොමැතිව බාහිර පුද්ගකයකුගේ භාරයේ පවතී. ඒ පුද්ගලයා අනෙකකු නොව මෙරට දේශපාලනය අංශක අනූවකින් හරවන්නට දෙවරක් සන්නද්ධ විප්ලව කළ රෝහණ විජේවීරය. 1989 නොවැම්බර් 12 වැනිදා හමුදාව විසින් උලපනේ ශාන්ත මෙරී වත්තේදී වෙස්වළාගෙන සැඟව සිටියදී අත්අඩංගුව ගත් රෝහණ විජේවීරට ඊට පසුදින රාජකීය ගොල්ෆ් පිටියේදී වෙඩිතබා බොරැල්ල කනත්තේදී පුලුස්සා දැමුවේ ප්‍රාණය පවා නිරුද්ධ වීමට කලිනි. එහෙත් එම අවස්ථාවේදී එහි සිටි සේවකයකු පසු දින විජේවීරගේ භෂ්මාවශේෂ එකතු කර ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබිණි. අනතුරුව එම සේවකයා එකී භෂ්මාවශේෂ අඩංගු බඳුන බස්නාහිර පළාත් හිටපු එජාප මන්ත්‍රී ජනක මල්ලිමාරච්චි හට භාරදී ඇත. (ජනක මල්ලිමාරච්චි යනු එ.ජා.ප.යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත්‍රයාය.) අවසානයේ මේ විප්ලවීය නායකයාගේ ‘අළු’ ටික රැකගන්නට භාර වූයේ ඔහුගේ සැබෑ පසමිතුරකුටය. ජනක මල්ලිමාරච්චිගේ බාල සොහොයුරා වූ ජයන්ත මල්ලිමාරච්චිද පසුගිය භීෂණ සමයේ ජ.වි.පෙ. සන්නද්ධ අංශය ලෙසින් සැලකෙන දේශප්්රමී ජනතා ව්‍යාපාරය විසින් වෙඩිතබා මරාදමනා ලද අතර විජේවීරගේ භෂ්මාවශේෂ ආරක්ෂා කිරීම අවසානයේ ඔවුන්ටම හිමිවීමද දෛවෝපගතය.
වසර කීපයක් පුරා තමා සන්තකයේ ඇති විජේවීරගේ අළුවලින් නිදහස් වීමට දැන් කලක සිට ජනක මල්ලිමාරච්චි උත්සාහ ගනිමින් සිටියි. ඒ අනුව ඔහු වරක් විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර හමුවී ‘තාත්තගේ අළුටික භාරගන්නැ’යි පවසා ඇත. ඊට එකඟ වූ උවිඳු, භෂ්මාවශේෂ රැගෙන යාමට පමිණෙන බව කීවද අද දක්වා පැමිණ නැත.
අනතුරුව ඔහු විජේවීරගේ පවුලෙන් එම භෂ්මාවශේෂ භාරගන්නා ලෙස ඉල්ලා සිටියද එයද ඉටුව නැත. අවසාන වශයෙන් ඔහු ජනතා විමුක්ති පෙරෙමුණෙන්ද විජේවීරගේ භෂ්මාවශේෂ භාර ගන්නා ලෙස ඉල්ලා ඇත. ඔවුන්ද ඊට ප්‍රතිචාර දක්වා නැත. ඒ අනුව අදටත් විජේවීරගේ භෂ්මාවශේෂ ජනක මල්ලිමරච්චි සතුව තිබේ. ‘මම මේ භෂ්මාවශේෂ විශේෂ ආරක්ෂාව සහිතව තියල තියෙනවා. විජේවීරගේ සහ මගේ දේශපාලනය එකිනෙකට වෙනස්. මගේ සහෝදරයා ඝාතනය වුණේත් 87 – 89 භීෂණ සමයේදී. ඒත් අපේ සංස්කෘතියට අනුව භෂ්මාවශේෂවලට වටිනාකමක් තිබෙනවා. ඒ හින්දා මම මේවා ආරක්ෂා කරනවා…’ ජනක මල්ලිමාරච්චි පවසන්නේය.
තම නායකයාගේ දේහය දවා ශේෂ වූ අළු ටික භාර නොගත්තද ජ.වි.පෙ. අද දිනයේද විජේවීර ඇතුළු මියගිය සිය සටන් සගයන් සමරන්නට තවත් ඉල්මහ විරු සමරුමක් පවත්වයි.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු






