Home Local News Room : අනුර මල්ලි වසන්ත අයියා ගැන කියපු කතාව…

News Room : අනුර මල්ලි වසන්ත අයියා ගැන කියපු කතාව…

3
0

පසුගිය දෙවැනිදා මරදානෙන් ඇරඹි විරෝධතා රැලියේ ප්‍රධාන තේමාවන් කිහිපයක් විය. එහෙත් ඒ අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ අවධානය පැහැර ගන්නට සමත් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ඉල්ලීමයි. දශක ගණනාවක් ලාංකේය ජන සමාජය පීඩාවට පත්කළද මෑතක් වනතුරුත් ‍රටේ බහුතරයකට වගේ වගක් නොමැතිව තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද රටම කතා කරන මාතෘකාවක් වී ඇත්තේය. දශක ගණනාවක් පුරා සහෝදර දෙමළ ප්‍රජාව අනන්ත පීඩාවට පත්කළ මෙකී පනත පිළිබඳ සිංහල බෞද්ධ සමාජයෙන් ඇඟට දැනෙන විරෝධයක් මින් පෙර නැඟුණේ නැති තරම්ය. එහෙත් අරගලයේ ක්‍රියාකාරිකයන් වූ වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, ජීවන්ත ගුණතිලක යන තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීමත් සමගම මුළු ලංකවටම මේ පනතේ පීඩාකාරී බව දැනෙන්නට විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරෝධය දැක්වීමට හේතු කරණා බොහෝය. එකී පනත යටතේ රඳවාගන්නා කෙනකු දින 90ක් යනතුරු අධිකරණ ක්‍රියාන්විතයන්ගෙන් සඟවා රඳවා ගැනීමට හැකි වීම ඉන් එක් කරුණකි. මෙලෙස රඳවාගන්නන් සැකකරුවන් පමණක් වුවත් ඔවුන්ට සාමාන්‍ය රිමාන්ඩ් සිරකරුවන්ට වඩා බොහෝ දුක්ගැහැටවලට මුහුණදීමට සිදුවේ. ඊට අමතරව වධ බන්ධනයන්ට ලක්කර ඉහළ නිලධාරීන් හමුවේ ලබාගන්නා ප්‍රකාශ අධිකරණය හමුවේ සාක්ෂි ලෙස යොදාගැනීමට ඉඩ ලැබීම වැනි ශිෂ්ට සමාජය නොඉවසන අංග රැසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇත.

පසුගිය අප්‍රේල් 09 වැනිදායින් ආරම්භ වූ ගෝඨා ගෝගම සහ මයිනා ගෝගම විරෝධතාවන්ට නායකත්වය දුන් බොහෝ දෙනෙක් විවිධ අණ පනත් යොදාගෙන මේ වන විටත් බන්ධනාගාරගතව සිටී. පොදු දේපළ පනත, පුරාවිද්‍යා පනත, වැනි අණපනත් උල්ලංඝනය කිරීම මෙන්ම අධිකරණ නියෝග නොතැකීම වැනි චෝදනා මුල්කර මෙම පිරිස් සිරගත කර තිබේ. එහෙත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, එහි භික්ෂු බලමණ්ඩලයේ සාමාජික ගල්වැව සිරිධම්ම හිමි සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වන හසන්ත ගුණතිලක යන තිදෙනා රඳවාගෙන සිටිනුයේ පෙර කී කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. මේ තිදෙනාගෙන් ජීවන්ත ගුණතිලක මීට දෙසතියකට පෙර චෝදනා නැති බව කියමින් නිදහස් කරන්නට ආණ්ඩුව කටයුතු කළේය. එහෙත් ගල්වැව හිමියෝ සහ වසන්ත මුදලිගේ තවමත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් බාරයේ පසුවෙති.

මෙලෙස රඳවාගෙන සිටින්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ රජයට ඇත්තේ ලොකු වගකීමකි. එහෙත් වසන්ත මුදලිගේ සහ ගල්වැව හිමියන් පසුවනුයේ එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් නොවන බව බාහිර සමාජයට වාර්තා වූයේ මීට ටික දිනකට පෙරය. උන්වහන්සේ උණ රෝගයෙන් පෙළෙන බවත් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් කටයුතු කර නැති බවත් සිරිධම්ම හිමිගේ සුවදුක් බැලීමට ගිය උන්වහන්සේගේ සොහොයුරියක් විසින් පැවසීමත් සමග රටේම අවධානය ඒ වෙත යොමුවිය.

මාධ්‍ය ඔස්සේ කෙරුණු අනාවරණයන් නිසා ගල්වැව හිමියන් රෝහල්ගත කරන ලද අතර එහිදී අනාවරණ වූයේ උන්වහන්සේට ඩෙංගු රෝගය වැලඳී ඇති බවයි. එහෙත් රෝහල්ගත කර දින තුනකට පසු යළි උන්වහන්සේ ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන යාමට නිලධාරීන් කටයුතු කරන ලදී. සාමාන්‍ය ඩෙංගු රෝගයට වෛද්‍යවරු ඇඳ විවේකය නිර්දේශ කරන බව ප්‍රකට කරුණකි. එමෙන්ම යහපත් වාතාශ්‍රය සහිතව විවේක ගැනීමටද කියති. එහෙත් ගල්වැව හිමියන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින කුටියේ ඇඳක් නැති බවත් ඇත්තේ පැදුරු කඩමාල්ලක් පමණක් බවත් පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අනුර මුදලිගේ (වසන්ත මුදලිගේගේ සොහොයුරා) පැවැසීය. ඒ අනුව තවමත් ගල්වැව හිමියන්ට අවශ්‍ය විවේකය සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනා වගක් දැනගන්නට නැත.

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේද ත්‍රස්ත විමර්ශන ඒකකයේ පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොවන බව වාර්තා වේ. පාදයේ ආබාධයකින් පෙළුණු ඔහු මේ වන විට දරුණු චර්ම රෝගයකින්ද පෙළෙමින් සිටී. වසන්තගේ සුවදුක් විමසීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට ගිය ඔහුගේ සොහොයුරා වන අනුර මුදලිගේ නොවන්නට මේ තොරතුරු මාධ්‍යයට වාර්තා නොවන්නට ඉඩ තිබිණි. එහෙත් අනුර මුදලිගේ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් රටක් ආදරය කරන ‘අරගලකරුවා’ගේ අද තත්ත්වය පිළිබඳ අනුවේදනීය හෙළිදරව්වක් කළේය. ඔහු පවසන පරිදි වසන්ත මුදලිගේ මේ වන විට රඳවා සිටිනුයේ අඩි හතයි හතරේ කූඩුවකය.

කිසිදු ආකාරයකින් මනුෂ්‍යයෙක් රඳවා තැබීමට නුසුදුසු එවන් කූඩුවක තම සොහොයුරා රඳවා ඇති බවත්, පිරිසිදු වාතාශ්‍රය මෙන්ම හිරු එළියද නොලැබෙන තැනක තම සොහොයුරා රඳවා ඇති බවත් අනුර මුදලිගේ මාධ්‍ය හමුවේ පවසා සිටියේය. විශේෂයෙන්ම චර්ම රෝගයකින් පෙළෙන රෝගියකුට එකී රෝගී තත්ත්වය සුව කරගැනීමට පාරිසරික තත්ත්වයන් බොහෝ සේ බලපාන බව ප්‍රකට කරුණකි. එවන් රෝගයකින් පෙළෙන අන්තරේ කැඳවුම්කරු 7×4 කූඩුවක දමා තිබීම නිසා ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට මෙන්ම, එනිසා විෂබීජ ශරීර ගතවීම වැනි ජීවිත අවදානම්සහගත තත්ත්වයන් පවා ඇතිවිය හැකිය. මේ තත්ත්වය වටහා ගන්නා අනුර මුදලිගේ වහා ක්‍රියාත්මක වන්නේය. දේශීය වශයෙන් තම සොහොයුරාට සහනයක් ලබාගත නොහැකි බව දැනගන්නා ඔහු යායුතු ලොකුම තැනට ගොස් මේ අවනඩුව කියන්නට සිතට ගන්නේය. ඒ අනුව වහා ක්‍රියාත්මක වන අනුර මුදලිගේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් යොමු කරන්නේය. දින දෙකක් ඇතුළත ඔහුට කැඳවීමක් ලැබෙන අතර එහිදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවේ අනුර මුදලිගේ තම සොහොයුරා මුහුණදී සිටින අවාසනාවන්ත ඉරණම සහ එමගින් ඔහුගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය විස්තර කරන්නේය. මේ බව දැනගන්නා ත්‍රස්ත විමර්ශන අංශයේ වගකිවයුත්තෝ වසන්ත මුදලිගේ ජාතික රෝහල වෙත ගෙනයන්නට කටයුතු කරන්නේය. ඒ අනුව මේ වන විට අවස්ථා දෙක තුනකදී වසන්ත මුදලිගේ ජාතික රෝහල වෙත ගෙනගොස් ප්‍රතිකාර ලබාදී ඇති බව දැනගන්නට තිබේ. එහෙත් චර්ම රෝග යනු පිරිසිදුකම සහ පාරිසරික තත්ත්වයන් සමග ඍජු සබඳතා පවත්වන රෝග කාණ්ඩයකි. එවන් රෝගයක් හුදු ඖෂධවලින් පමණක් සුවකළ නොහැක. එහෙත් වසන්ත මුදලිගේ රඳවා තිබෙන පරිසරය චර්ම රෝගයකින් පෙළෙන්නකුට කිසිසේත් හිතකර නොවන බව අනුර මුදලිගේ පවසන්නේය.

තම සොහොයුරා මේ ආකාරයේ අවම පහසුකම් සහිත මැදිරියක සිරගත කිරීමට හේතුව අනුර මුදලිගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන්ගෙන් විමසා ඇත. ඔවුන් පවසා ඇත්තේ ඒ ඇයි දැයි නොදන්නා බවයි. ගාලුමුවදොර අරගලයට සම්බන්ධ පාර්ශ්ව මෙන්ම දැන් ඊට අයිතිවාසිකම් කියන්නෝද බොහෝය. ඒ අතර සිටි ඇතැම්හු පාර්ලිමේන්තුව වටලන්නට පවා යෝජනා ගෙන ආවෝය. එහෙත් ඒ කිසිවෙක්වත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ‍රඳවාගෙන නැත. එකම අරගලයේ නියුතු වූවන්ගෙන් කොටසකට සාමාන්‍ය නීතියෙනුත්, තවත් කොටසකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනතිනුත් දඬුවම් කිරීමට යාම වටහා ගනීමට අසීරු තත්ත්වයකි. අනුර මුදලිගේ ඒ පිළිබඳ පවසනුයේ ජනතාව අරගලයේ සැබෑ නායකයන් ලෙස තෝරා ගැනීම නිසා ආණ්ඩුව අන්තරේට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන බවයි. එපමණක්ද නොව තම සොහොයුරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් පැමිණි මොහොතේ සිට පොලිසිය තමා පසුපස වැටී ඇති බව ඔහු පවසයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here