10
මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ ඡන්ද විමසීම සඳහා ලොව පුරා කාදිනල්වරුන් 133 දෙනකුට සත්කාරකත්වය ලබාදීමට වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ කටයුතු සූදානම් කරමින් පවතින බව වතිකාන නිව්ස් පුවත් සේවය වාර්තා කළේය. මෙවර පැවැත්වෙන 267 වැනි පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වන සමුළුව ලබන 7 වැනිදා ආරම්භ වන බවත්, ඒ සඳහා සිස්ටීන් දේවස්ථානයේ කටයුතු සූදානම් වන අයුරු දැක්වෙන වීඩියෝ පට සහ ඡායාරූප වතිකානයේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ බවත් වතිකාන නිව්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
වතිකානයේ ගිනි නිවන හමුදාව සිස්ටීන් දේවස්ථානයේ වහළයේ චිමිනිය සවි කරන ආකාරය දැක්වෙන වීඩියෝපට සහ එහි ඡායාරූප සඳහා ජාත්‍යන්තර අවධානය යොමුවී ඇති බවද වාර්තා වේ. එම චිමිනිය සවි කරනු ලබන්නේ අවම වශයෙන් කාදිනල්වරු 89 දෙනකු මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා පූර්ණ එකඟතාවට පත්වී තිබේද යන්න සංඥා කිරිම සඳහා වන අතර, ඔවුන් එවැනි එකඟතාවකට නොපැමිණියේ නම් එම චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් කරන බවත්, නව පාප් වහන්සේ තෝරාපත් කරගත් බව බැතිමතුන්ට දැනුම් දෙනු ලබන්නේ සුදු දුමාරය නිකුත් කිරීමෙන් බවත් වතිකාන නිව්ස් පුවත් සේවය සඳහන් කළේය. මැයි 7 වැනිදා සමුළුව ආරම්භ වීමට පෙර සියලු කාදිනල්වරු සාම්ප්‍රදායිකව ආගමික චාරිත්‍රවල නිරතවන අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ රහස්භාවය රැකීමට බැඳී සිටින බව වාර්තා වේ. ඡන්ද භාවිතය වෙනස් කිරීමට බාහිර ලෝකයෙන් ගන්නා ඕනෑම උත්සාහයක් ප්‍රතික්ෂේප කිරීමට කාදිනල්වරු ප්‍රතිඥා දෙන බවද වාර්තා වේ. පළමු ඡන්දය ප්‍රකාශ කිරීම මැයි 7 වැනිදා පස්වරුවේ සිදු කරන අතර, ඉදිරි දිනවලදී උදෑසන දෙවතාවක් සහ පස්වරුවේ දෙවතාවක් බැගින් කාදිනල්වරු දිනකට සිව්වතාව බැගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.







