කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු නාවික හමුදාපතිවරයා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර, ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.
අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබියදී, හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයට නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම සහ එතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට යොමු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනටමත් විමර්ශනයක් පවත්වයි. මෙම විමර්ශනයේ පළමු සැකකරු ලෙස පසුගිය ජුනි 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.
මෙම විමර්ශන කටයුතුවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව ඊයේ (03) අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ අතර, එහිදී ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසුව කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී අල්ලස් කොමිසම නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළාය.
එහිදී ඇය අධිකරණය හමුවේ මෙසේ කරුණු දක්වූවාය. “ස්වාමිනි, සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන්ට අවස්ථාව අහිමිකරමින් සුදුසුකම් නොමැතිව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල. නාවික නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පවත්වන පුහුණු පාඨමාලාවක් සඳහා සිවිල් පුරවැසියෙක් විදිහට සිටි යෝෂිත රාජපක්ෂගේ නම යොමු කරලා තියෙන්නේ මේ සැකකරු. ඔහු එවකට නාවික හමුදාපතිවරයා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගන්න ලහිලහියේ කටයුතු සුදානම් වෙද්දි මොහු අවස්ථා දෙකකදී යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට නියමිත අංශය වූ විධායක ශිෂ්‍යභට අංශයේ බඳවාගැනීමේ සුදුසුකම් නිර්ණායක වෙනස් කරලා තියෙනවා. සෙසු අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතිකපත් අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට විභාග දෙපාර්තමේන්තුවට යැව්වාට යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සහතිකපත් එලෙස යවා නැහැ. පළමු අවස්ථා සුදුසුකම් වෙනස් කර පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසුවද, අවම සුදුසුකමක් වූ සාමාන්‍ය පෙළ සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් තිබිය යුතු වීමේ සුදුසුකම යෝෂිත රාජපක්ෂට තිබී නැහැ. ඔහුට තිබී ඇත්තේ සිංහල විෂයට සාමාන්‍ය සාමාර්ථයක් නැතිනම් S සාමාර්ථයක්. පසුව දෙවන වරටත් මෙම සැකකරු යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට හැකිවන සේ ඔහුගේ සුදුසුකම්වලට සරිලන ලෙස බඳවාගැනීමේ සුදුසුකම් වෙනස්කර තිබෙනවා.”
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ලේ විරුද්ධත්වයක් පවතීදැයි විමසා සිටියේ මෙලෙසිනි. ” සිද්ධිමය කරුණු බැලුවාම වරදක් වී ඇති බවට සාධාරණ සැකයක් මතුවන කරුණු ඇතැයි පැහැදිලියි. මේ අවස්ථාවේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ ඇප සම්බන්ධයෙන්. සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධද?”
මහේස්ත්‍රාත්වරයාගේ විමසීමට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළේ, විමර්ශන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනීමට නියමිත බැවින් එතෙක් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වන බවත්ය. එම අවස්ථාවේදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේය.
නීතිඥවරයා සිය කරුණු දැක්වීම සිදුකළේ මෙලෙසිනි. “ස්වාමිනි, එවකට යුද්ධය පැවති සමයේ සීමිත පිරිසක් හමුදාවට බැඳුණේ. බඳවාගැනීම් වැඩිකරන්න ආරක්ෂක කවුන්සිලයෙන් තීරණය කළා. යුද හමුදාවට 50,000ක්, නාවික හමුදාවට 25,000ක් සහ ගුවන් හමුදාවට 15,000ක් බඳවාගත්තා. රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳෙන එක අනෙක් දෙමව්පියන්ට තම දරුවන් හමුදාවට බැඳෙන්න උත්තේජනයක් සපයන නිසයි මේ බඳවාගැනීම සිද්ධවුණේ. මේ සැකකරු විවාහකයි. ඔහුට දරුවන් නැහැ. ඔහුගේ බිරිඳ දැඩි ලෙස අසාධ්‍යව රෝගිව ඉන්නේ. මොහු රිමාන්ඩ් කළොත් ඇයව බලාගන්න පවුලේ කවුරුත් නැති වෙනවා. එබැවින් මොහු ඇපමත මුදා හරින්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාව රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරුණු අතර, අදාළ නීති කෘත්‍ය එළඹෙන අගෝස්තු මස 04 වැනිදා නැවත කැඳවීමට නියමිතය.