ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය, පොදු නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ බරපතළ ගැටලු මතු කරන්නක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පහළ අධිකරණවල පවතින පරිපාලනමය ගැටලු උසස් අධිකරණවල පත්වීම් ප්‍රමාද කිරීමට හේතුවක් ලෙස දැක්වීම නීතිමය වශයෙන් වලංගු නොවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවන් බඳවා ගැනීම සහ ඔවුන්ගේ පරිපාලනය මුළුමනින්ම අධිකරණ සේවා කොමිෂන් සභාවට (JSC) පැවරී ඇති කාර්යයකි.
එහෙත්, උසස් අධිකරණ විනිසුරු පත්වීම් යනු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා සතු සුවිශේෂී වගකීමකි. රජයේ වෙනත් අංශයක පවතින පද්ධතිමය අසාර්ථකත්වයන් මත පදනම්ව උසස් අධිකරණවල විනිසුරු සංයුතිය ‘ප්‍රාණ ඇපයට’ තබා ගැනීමට විධායකයට අයිතියක් නොමැති බව එම සංවිධානය අවධාරණය කරයි.
වෘත්තීය විනිසුරුවන්ගේ ‘සාධාරණ අපේක්ෂාවන්’ (Legitimate Expectations) අතුගා දැමීම හරහා ඔවුන්ට ආපසු හැරවිය නොහැකි වෘත්තීය අගතියක් විධායකය විසින් සිදුකරන බව ද එහි සඳහන් වේ.
මෙම කෘතිම ප්‍රමාදය හේතුවෙන් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට උසස් අධිකරණවල සේවය කිරීමට ඇති කාලය කෙටි වන අතර, එය සමස්ත අධිකරණ පද්ධතියේම නායකත්ව අනුපිළිවෙළ අවුල් කිරීමට හේතු වන බව සත්‍ය ගවේෂකවෝ සංවිධානය පෙන්වා දෙයි.
රජයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් පුරවැසියෙකුට හෝ නිලධාරියෙකුට හිමිවිය යුතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අහිමි කළ නොහැකි බව පෙන්වා දෙන එම සංවිධානය, මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සෘජුවම උල්ලංඝනය කිරීමක් බව පවසයි. උසස් අධිකරණවල විනිසුරු මඩුල්ල හිස්ව තැබීමෙන් අභියාචනා සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ප්‍රමාද වී මහජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහා වහාම ක්‍රියාත්මක වී, උසස් අධිකරණවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස සත්‍ය ගවේෂකවෝ සංවිධානය විධායකයෙන් ඉල්ලා සිටියි.