ලංකාවේ ක්‍රියාත්මක වන පික්මී වැනි දේශීය සමාගම් මෙරට නීතියට අනුව මුළු ගමන් ගාස්තුවටම වැට් බදු ගෙවිය යුතු වුවද, ඌබර් වැනි විදේශීය සමාගම්වල තාක්ෂණික පද්ධති විදේශයන්හි පිහිටුවා ඇති බැවින් ඔවුන්ගෙන් බදු අය කරනු ලබන්නේ ඔවුන්ගේ මෘදුකාංග සේවා ගාස්තුවට පමණක් බව මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙන්වාදෙනවා.
එමෙන්ම රුපියල් 500ක ගමන් වාරයක් සඳහා ඌබර් සමාගමෙන් බදු අය කෙරෙන්නේ ඔවුන්ගේ සේවා ගාස්තුව වන රුපියල් 75ක ප්‍රමාණයට පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා, එවිට ඔවුන්ට අදාළ බදු මුදල රුපියල් 50ක් වැනි සුළු අගයක් ගන්නා බව සඳහන් කළා.
කෙසේවෙතත්, පික්මී සමාගම සඳහා සමස්ත රුපියල් 500ක මුදලටම බදු පැනවෙන බැවින් එම බදු මුදල රුපියල් 500ක් දක්වා ඉහළ යන බවත්, මෙවැනි අසමතුලිත බදු ක්‍රමවේදයන් හේතුවෙන් දේශීය තාක්ෂණික ව්‍යවසායකයන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවත් හර්ෂ ද සිල්වා මහතා පෙන්වාදෙනවා.
මෙවැනි අසමතුලිත බදු පැනවීම් හේතුවෙන් දේශීය තරුණ ව්‍යවසායකයන් තම සමාගම් සිංගප්පූරුව වැනි රටවල ලියාපදිංචි කිරීමට පෙළඹෙන බවත්, බදු පැනවීමේදී පුද්ගලයා කවුදැයි නොබලා සේවාව දෙස බලා සමාන දේ සමාන ලෙස සලකා බදු සකස් කළ යුතු බවත් ඔහු කියා සිටියා.
මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව මූල්‍ය පනත් කෙටුම්පත් සභාවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සහ නිර්දේශ ලබාගත යුතු බවත්, එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයෙන් පැමිණි අනිවාර්ය සම්ප්‍රදායක් බවත් ඔහු පැවසුවා.
මුදල් කමිටුවේ විනිවිදභාවය නිසා බදු පැනවීම්වල පවතින මෙවැනි අඩුපාඩු සමාජයට අනාවරණය වන අතර, කමිටුව මඟහැර කටයුතු කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව හර්ෂ ද සිල්වා මහතා චෝදනා කළා.
කෙසේවෙතත් සැලූන්, බාබර් ෂොප්, ගරාජ් ආදි කුඩා පරිමාණයේ ව්‍යාපාර බද්දට යටත් වන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා පහත හෙළීමට ආණ්ඩුව මුලින් සැලසුම් කර තිබූ බව ඔහු සඳහන් කළා .
එමඟින් අන්ත අසරණ වන පොදු ජනතාව වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළ දැඩි ලෙස හඬ නැඟූ නිසා, අවසානයේ එම මිලියන 36 සීමාව හකුලාගෙන එය නැවත මිලියන 60 මට්ටමේම තැබීමට ආණ්ඩුවට සිදුවූ බවත්, එය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.