ගෙවුම් ශේෂ ලේඛනයේ “දෝෂ සහ අතපසුවීම්” යටතේ සටහන්ව ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අදහස් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධිපතිවරයා පෙන්වා දුන්නේ, ගෙවුම් ශේෂ ලේඛනයක් සැකසීමේදී ණය සහ බැර තීරු දෙකම සම්පූර්ණයෙන් සමාන වී ශුන්‍ය අගයක් ගැනීම ප්‍රායෝගිකව සිදු නොවන බවයි.
ආනයන සහ අපනයන භාණ්ඩ පිළිබඳ දත්ත රේගුව මගින් නිවැරදිව වාර්තා කළද, ඒ හා අනුරූපී මූල්‍ය ගනුදෙනු බැංකු පද්ධතිය හරහා වාර්තා කිරීමේදී මිලියන සංඛ්‍යාත ගනුදෙනු පවතින බැවින් ඒවා නිවැරදිව ගැලපීම ඕනෑම රටකට දුෂ්කර කාර්යයක් බව හෙතෙම පැහැදිලි කළේය.
මෙම ඩොලර් මිලියන 808 ක අගය වාර්තා වී ඇත්තේ එම ගිණුම් තුලනය කිරීමේ අයිතමයක් ලෙස බවත්, මෙය දත්ත වාර්තාකරණයේ පවතින විෂමතාවයක් මිස කිසිසේත්ම මුදල් අස්ථානගත වීමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“මහ බැංකුවට කිසිවක් අහිමි වී නැහැ, කිසිවෙකුටත් කිසිවක් අහිමි වී නැහැ. මෙය දත්ත වාර්තාකරණයේ පවතින විෂමතාවයක් පමණයි” යනුවෙන් අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙවැනි විෂමතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වා දුන්නේ කාලානුරූපී පරතරයන්ය. උදාහරණයක් ලෙස, රේගු දත්ත අනුව අපනයන වාර්තා වුවද, එම අපනයන ආදායම මෙරටට ලැබීමට මාස කිහිපයක් ගත විය හැකි අතර, එම කාල පරතරය ගෙවුම් ශේෂ ලේඛනයේ මෙවැනි විෂමතාවයක් ලෙස සටහන් විය හැකිය.
පසුගිය වසරේ මෙම අගය සෘණ ඩොලර් මිලියන 254 ක් ලෙස සටහන් වූ අතර, ඇතැම් වසරවලදී මෙය ධන අගයක් හෝ ශුන්‍ය අගයක් ද ගත හැකි බව අධිපතිවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණික දැනුම නොමැතිකම හේතුවෙන් ඇතැම් පාර්ශවයන් මෙම දත්ත වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත්, මෙය ඕනෑම ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු දන්නා සාමාන්‍ය තාක්ෂණික ක්‍රියාවලියක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය
