කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිය සැමියාගේ සුවදුක් බැලීම සඳහා ගොස් ආපසු එන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මේ බව අනාවරණය කළාය.
පසුගිය මාර්තු 08 වනදා සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙතෙක් කල් කරුණු වසන් කළ ද, ඊයේ (16) මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී එය සිදු කළ බවට ඔවුන්ට පිළිගැනීමට සිදු වූ බව ඇය සඳහන් කළාය.
සලේ මහතාව සිරකුටියෙන් පිටතට ගෙන, නිරුවත් කර, ඉදිරියට නැවීමට සලස්වා මෙම පරීක්ෂාව සිදු කර ඇති අතර එය ඉතා පහත් මට්ටමේ අමානුෂික ක්‍රියාවක් බව ඇය අවධාරණය කළාය.
මීට අදාළ සීසීටීවී දර්ශන සහ එම පරීක්ෂාව සිදු කළ නිලධාරීන්ගේ නම් ඇතුළත් ලේඛන ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිසම රහස් පොලිසියට නියෝග කර තිබේ.
සලේ මහතා මේ වන විටත් අඛණ්ඩව උපවාසයේ නිරත වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව මනෝරා සලේ මහත්මිය පැවසුවාය.
ඔහුට මේ වන විට කතා කිරීමට හෝ එක දිගට ඉඳගෙන සිටීමට පවා අපහසු වී ඇති බවත්, කැනියුලා දැමීම නිසා දෑත් ඉදිමී ඇති බැවින් වෛද්‍යවරුන් මේ වන විට නල මාර්ගයක් හරහා දියර ආහාර ලබා දෙමින් ඔහුව ජීවත් කරවීමට උත්සාහ කරන බවත් ඇය කියා සිටියාය.
ඔහුව රඳවා සිටි සිරකුටියේ තත්ත්වය පිළිබඳව ද ඇය මෙහිදී තොරතුරු හෙළි කළාය. කිසිදු වාතාශ්‍රයක් නොමැති අඩි 6×4 ප්‍රමාණයේ කුඩා සිරකුටියක ඔහුව රඳවා සිටි බවත්, වධ දීමේ අරමුණින් එහි පැය 24 පුරාම විදුලි බල්බයක් දල්වා තිබූ බවත් ඇය පැවසුවාය.
පළමු දින 40 පුරාම ඔහුට සිමෙන්ති පොළොවේ නිදා ගැනීමට සිදු වී ඇති අතර, මීයන් ගහන එම පරිසරයේ සිටි අනෙකුත් රැඳවියන් පවා මීයන් සපා කෑම හේතුවෙන් එන්නත් ලබා ගැනීමට සිදු වූ බව ඇය සඳහන් කළාය.
මිග්‍රේන් රෝගයෙන් පෙළෙන සලේ මහතාට දැඩි දුර්ගන්ධයක් සහිත වැසිකිළිය අසල පිහිටි සිරකුටියක් ලබා දීමෙන් සැලසුම් සහගතව මානසිකව වට්ටා ඇති බව ඇයගේ චෝදනාවයි.,
තම සැමියාට සිදුවන මෙම අසාධාරණ තත්ත්වය පිළිබඳව අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කළ ද මේ දක්වා ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් ලැබී නොමැති බවද මනෝරා සලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.