බලශක්ති
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට
එරෙහිව ඉදිරිපත් කර ඇති
විශ්වාසභංග යෝජනාව සම්පූර්ණයෙන්ම
වැරදි පදනමක් මත ගොඩනගා ඇති
බවත්,
ගල් අඟුරු
ගනුදෙනුවේදී කිසිදු දේශපාලන
අධිකාරියක් මැදිහත් වූ වංචාවක්
හෝ දූෂණයක් සිදුව නොමැති බවත්
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල්
ජයන්ත මහතා ප්‍රකාශ කරයි.
ස්වර්ණවාහිනී
නාලිකාවේ පැවති දේශපාලන
වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී
වැඩිදුරටත් අදහස් දැක්වූ
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා
සිටියේ මෙම විශ්වාසභංගය හරහා
මෙරට ඉතිහාසයේ සිදුවූ බරපතලම
හොරකම මෙය ලෙස පෙන්වීමට විපක්ෂය
උත්සාහ කරන නමුත්, මෙහි
ඇත්තේ ආනයනය කරන ලද භාණ්ඩවල
ප්‍රමිතිය අඩුවීම සම්බන්ධ
තාක්ෂණික ගැටලුවක් පමණක්
බවයි.
එම ප්‍රමිතිය
අඩුවීම නිසා යම් ගැටලුවක් හෝ
රජයට පාඩුවක් සිදුව ඇත්නම්
එය අදාළ සැපයුම්කරුවන්ගෙන්
අයකර ගැනීමට කටයුතු කරන බවද
හෙතෙම අවධාරණය කළේය.
අතීතයේ පැවති
ආණ්ඩු සමයේ චෙක්පත් මගින්
මුදල් මාරු කරගනිමින් සහ
ප්‍රමිතියෙන් තොර “අසූචි
පොහොර” වැනි
දෑ ගෙන්වමින් සිදුකළ මහා
පරිමාණ දූෂණ වංචා වසා ගැනීමට
විපක්ෂය මෙම තත්ත්වය උපයෝගී
කරගන්නා බවත්, වත්මන්
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමග පවා විනිවිදභාවයෙන් යුතුව
කටයුතු කරන බවත් ඔහු පෙන්වා
දුන්නේය.
යම් අයෙකුට
මෙම ගනුදෙනුවේ දූෂණයක් ඇතැයි
සැකයක් පවතින්නේ නම් එය නීතිය
ඉදිරියේ අභියෝගයට ලක් කරන
ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා
මෙහිදී අභියෝගයක් ද කළේය.
අමාත්‍ය
කුමාර ජයකොඩි මහතාට එරෙහිව
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම
නඩු පවරා ඇත්තේ වත්මන් ගල්
අඟුරු ගනුදෙනුවක් සම්බන්ධයෙන්
නොව, ඔහු
මීට පෙර ලංකා ගල් අඟුරු සමාගමේ
නිලධාරියෙකු ලෙස කටයුතු කළ
සමයේ සිදුවීමක් සම්බන්ධයෙන්
බවද අනිල් ජයන්ත මහතා අනාවරණය
කළේය.
එම සිදුවීමේදී
ද අමාත්‍යවරයා නිලධාරියෙකු
ලෙස රජයට සිදුවීමට ගිය පාඩුව
වළක්වා මුදල් අයකර ගැනීමට
කටයුතු කර ඇති බවත්,
කිසිදු
පාඩුවක් සිදුව නොමැති බව
බේරුම්කරණ මණ්ඩල මගින් පවා
තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය.
එබැවින්
මෙම පදනම් විරහිත විශ්වාසභංග
යෝජනාව හෙට දිනයේදී අනිවාර්යයෙන්ම
පරාජය කරන බවත්, අමාත්‍යවරයා
ඉල්ලා අස්විය යුතු කිසිදු
නෛතික හෝ සදාචාරාත්මක පදනමක්
නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා
වැඩිදුරටත් සඳහන් කළේය.







