වත්මන් ගල් අඟුරු ටෙන්ඩරය වහාම අත්හිටුවීමට සිදුව ඇති බවත්, මදි වන ගල් අඟුරු ලබා ගැනීමට හඳුන්වා දුන් ‘ස්පොට් ටෙන්ඩරය’ (Spot Tender) ද බරපතල අසාර්ථක වීමකට ලක්ව ඇති බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ දැවැන්ත වංචාවක් සහ ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතින බව විගණන වාර්තා මගින් ද තහවුරු වී ඇති බවයි.
විගණන වාර්තාව සහ තාක්ෂණික වාර්තා පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ 12 සහ 13 වන නැව් දෙකේම ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර (බාල) බව Cotecna වාර්තා මගින් තහවුරු වී ඇති බවයි.
රජයේ මීට පෙර පැවති තර්කය වූයේ පිට පිට නැව් දහයක ගල් අඟුරු බාල වුවහොත් පමණක් ටෙන්ඩරය අවලංගු කළ හැකි බව වුවත්, වත්මන් තත්ත්වය යටතේ මෙම ටෙන්ඩරය තවදුරටත් ක්‍රියාත්මක කිරීම බරපතල නීතිමය වරදක් බව ඔහු පෙන්වා දෙයි.
මෙම දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ වන සියලු දෙනා අනාගතයේදී නීතිය හමුවේ වරදකරුවන් වනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.
පවතින ගල් අඟුරු හිඟය පියවා ගැනීමට ගෙන ආ ‘ස්පොට් ටෙන්ඩරය’ මගින් ද මීට පෙර සිදුවූ ආකාරයේම දූෂණයක් සිදුවන බව මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මේ සඳහා තෝරාගෙන ඇති Tharanjot නම් සමාගම, ලෝකයේ ප්‍රකට ගල් අඟුරු සමාගම් වන ‘සුවෙක්’ හෝ ‘ආදිත්‍ය බිර්ලා’ වැනි ඩොලර් බිලියන ගණනක පිරිවැටුමක් සහිත සමාගමක් නොවන බව ඔහු පවසයි.
වරුණ රාජපක්ෂ මහතා පවසන පරිදි, මෙම සමාගම වාර්ෂිකව ඩොලර් මිලියන 300ක පමණ පිරිවැටුමක් සහිත, ඉන්දියාව තුළ බංකොලොත් වූ බවට වාර්තා පළවූ සමාගමකි.
එමෙන්ම, ලංකාවට අවශ්‍ය කිලෝකැලරි 6150ක ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු කිසිදු දිනක සපයා නොමැති මෙවැනි සමාගමක් ‘ලංකා කෝල්’ සමාගම විසින් ලියාපදිංචි කරගත්තේ කෙසේදැයි විගණන වාර්තාව පවා ප්‍රශ්න කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම මතභේදාත්මක සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම මීට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ද සමීපතම ව්‍යාපාරික මිතුරෙකු බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය වහාම පිළිතුරු දිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනතාව හමුවට යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය







