පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු ලේඛනය සම්බන්ධයෙන් පවතින අර්බුදය හමුවේ, ඕනෑම මාධ්‍ය නාලිකාවක් ඉදිරියේ විවෘත සංවාදයකට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට අභියෝග කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කරන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මෙම පුරප්පාඩු ලේඛනය සඳහා අයදුම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මාධ්‍ය හරහා බලපෑම් සහ තර්ජන එල්ල කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම, හෙට දින දහවල් 12ට පෙර එම ලේඛනයට අයදුම් නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පියවර ගන්නා බවට සිදුකර ඇති තර්ජනය වෘත්තීයවේදීන්ට කරන බලවත් අපහාසයක් බව ද ඔහු පෙන්වා දෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ සාකච්ඡා මේසයට පැමිණ ගැටලු විසඳා ගැනීමට අමාත්‍යවරයා දක්වන මැලිබව විවේචනය කළ වෛද්‍ය සුගතදාස මහතා, ඒ වෙනුවට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් නොකර සෘජු සංවාදයකට එක්වන ලෙස අමාත්‍යවරයාට නැවතත් ආරාධනා කර සිටියි.
මෙම තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර තීරණය කිරීම සඳහා අදහදිසි විධායක සභා රැස්වීමක් කැඳවා ඇති බවත්, බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.







