Home Local News Room : පරණ නිර්දේශයට පාසල්වලට පෙල පොත් යවයි.. මදිනම් PDF බාගන්නලු…

News Room : පරණ නිර්දේශයට පාසල්වලට පෙල පොත් යවයි.. මදිනම් PDF බාගන්නලු…

0
0

 

2026 වර්ෂය සඳහා වන පාසල් අධ්‍යාපන කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

2026 ජනවාරි 13 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණිය සඳහා වන නව විෂය මාලාවේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 29 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වසර දක්වා කල් දමා තිබේ. ඒ අනුව, 2026 වසරේ දී 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයම ක්‍රියාත්මක වන අතර, ඔවුන් ඉගෙනුම් කටයුතු සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් භාවිතා කළ යුතුය.

පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන්ගෙන් එකතු කර නැවත බෙදා හැරීමට විදුහල්පතිවරුන් වෙත උපදෙස් නිකුත් කෙරේ.

අවශ්‍යතාව අනුව නව පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමට පියවර ගැනේ.

6 ශ්‍රේණියේ පෙළපොත්වල මෘදු පිටපත් (Soft copies) ‘e-තක්සලාව’ වෙබ් අඩවියට ඇතුළත් කෙරේ.

2026 වසරේ දී 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කර ඇති අතර, එක් කාල පරිච්ඡේදයක් විනාඩි 40ක් විය යුතුය. පාසල් කාලසටහන් සකස් කළ යුත්තේ පෙර වසරවල පැවති ආකාරයටමය.

එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා දන්වා සිටියි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ මොඩියුලයන් පුළුල් මහජන සංවාදයක් සඳහා විවෘත කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අමතරව, නව ප්‍රතිසංස්කරණවලට අදාළ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී තෝරාගත් පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම තීරණ සම්බන්ධයෙන් වන නිල චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බවඅමාත්‍යාංශය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here