3
සිරගත වී සිටින සිය පියා වන පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීමට මැදිහත් වන්නැයි ඔහුගේ පුතුන් දෙදෙනා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සහ ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිය වන බ්‍රිතාන්‍ය ජාතික ජෙමීමා ගෝල්ඩ්ස්මිත්ට දාව උපන් කාසිම් සහ සුලේමාන් ඛාන් මේ ඉල්ලීම කර ඇත්තේ ‘දි සිටිසන්‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඉම්රාන්ගේ පුතුන් දෙදෙනා සිය පියාගේ සිර දඬුවමට එරෙහිව හඬ නැඟූ පළමු අවස්ථාව මෙය බවත්, තව දුරටත් නිහඬව සිටිය නොහැකි බව කියමින් එම ඉල්ලීම කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කාසිම් සහ සුලේමාන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය පියා සමඟ කතාබහ කිරීමට සෑම සතියකදීම අවස්ථාව ලබාදෙන ලෙසට අධිකරණය නියෝගයක් නිකුත් කළද, මේ වනවිට එම අවස්ථාව උදාවන්නේ මාස දෙකකට හෝ තුනකට වරක් පමණක් බවය.