Home Sport News Room : ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයෙන් නවසීලන්තයට 32-6ක ජයක්

News Room : ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයෙන් නවසීලන්තයට 32-6ක ජයක්

0
0

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා නවසීලන්ත පිලේ නායක ජරේඩ් පර්සිවල්ට ජයග්‍රාහකයන් සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ග්‍රෙහැම් හෙන්රි කුසලානය පිරිනැමූ අයුරු. ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන සමූහ විධායක නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය – හිරන්ත ගුණතිලක

 

සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ බර පන්තියේ රග්බි කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදුණු දෙවැනි තරගයෙන් ලකුණු 32-6ක ජයක් නවසීලන්ත පිලට හිමි විය.

කොළඹ තුරඟ තරග පිටියේ පසුගියදා පැවති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 5-0කින් පෙරමුණ ගත් නවසීලන්ත පිල තරගය පුරා ගෝල 2ක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් රැස් කිරීමට සමත්වූ අතර, ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ දඬුවම් පහර 2ක් පමණි. දෙපිල අතර පසුගියදා මහනුවර පැවති පළමු තරගයෙන් ද ලකුණු 50-10ක ජයක් අත්කර ගත් නවසීලන්ත පිලට තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ශ්‍රීමත් ග්‍රෙහැම් හෙන්රි කුසලානය හිමි විය.

දෙවැනි තරගයේ 24 වැනි මිනිත්තුවේදී සහ 54 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට දඬුවම් පහර 2ක් අත්කර දෙනු ලැබුවේ තරින්ද රත්වත්ත විසිනි. පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස නයිජල් රත්වත්ත කටයුතු කළ අතර, දෙවැනි තරගයේදි ධනුෂ්ක රන්ජන් විසින් ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලැබීය.

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ තරගයට විදේශ කටයුතු ඇමැති විජිත හේරත්, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර සහ කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහත්වරු ද ආරාධිතයන් ලෙස එක්වූහ. වසර 118කට පසු ඕනෑම ආකාරයක නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් කළ මේ තරගාවලිය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්විණි.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here