11
මේ වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සාෆ් පාපන්දු ශූරතාවලිය 2026 දක්වා කල් දැමීමත් සමඟ සුපර් කප් සිවුකොන් ආරාධිත පාපන්දු තරගාවලිය සැප්තැම්බර් 1දා සිට 12 දක්වා කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත.
මේ සුපර් කප් සිවුකොන් ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව හා බංග්ලාදේශය එක් කර ගැනීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. මේ සුපර් කප් සිවුකොන් පාපන්දු තරගාවලිය සැණකෙළි ස්වරූපයෙන් සංවිධානය කෙරෙන බව සභාපතිවරයා පැවසීය.
මේ අතර, දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු සාමාජික අලි උමාර් මහතා මාධ්‍යයට පැවසුවේ, සම්මේලනයේ අලෙවිකරණ සහකරුගේ ඉල්ලීම හේතුවෙන් සාෆ් පාපන්දු ශූරතාවලිය කල්දැමීමට සිදුවූ බවය. මේ ශූරතාවලිය නව ආකෘතියකින් පැවැත්වීමට අවශ්‍ය බැවින් එය කල්දැමීමට තීරණය කර ඇති බවත්, එය මේ වසරේ පැවැත්විය නොහැකි බවත් ඒ මහතා පැවසීය.
සාෆ් පාපන්දු ශූරතාවලිය සෑම රටකදීම සහ එම රටෙන් පිටතදී ලෙස නව ආකෘතියකින් පැවැත්වීමට සැලසුම් කළ අතර, එසේ පැවැත්වීමේදී සාෆ් ශූරතාවලිය මාස දෙකකට වඩා වැඩි කාලයක් පවතින හෙයින් ඉහළ වියදමක් දැරීමට සිදුව ඇත. මේ හේතුවෙන් පසුව ඔවුන් එය මධ්‍යගත ආකෘතියකින් පැවැත්වීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකාවට සත්කාරකත්වය පිරිනැමිණි.
ජර්මනියේ ක්‍රීඩා අලෙවිකරණ ආයතනයක් වන ‘ස්පෝර්ට්ස් ෆයිව්’ මේ අනුග්‍රාහක ආයතනය වූ අතර, ස්වාධීනව ශූරතාවලිය පැවැත්වීමට ඔවුන්ට මූල්‍යමය හැකියාවක් නැති බැවින්, තරගාවලිය කල්දැමීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය බැඳී සිටියි. ශූරතා නවයක් දිනාගත් ඉන්දියාව සාෆ් ශූරතාවලියේ වාර්තාගත ජයග්‍රාහකයා වන අතර, අවසන් වරට පැවති 2023 තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේය.