Home Sport News Room : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 7කට පසු ඉන්දියාව පරදවති

News Room : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 7කට පසු ඉන්දියාව පරදවති

2
0

නිලක්ෂි ද සිල්වා සහ හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතක රැස් කරමින් ගොඩනැඟූ ඉනිම සාර්ථක අවසානයක් කරා ගෙන ගිය අනුෂ්කා සංජීවනි සහ සුගන්දිකා කුමාරි වසර 7කට පසු ඉන්දීය කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින තරග ජයක් අත්කර දුන්හ.

මේ තරගය ජය ගනිමින් කලින්ම අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ඉන්දීය පිල පළමුව පන්දුවට පහර දෙමින් දුන් ලකුණු 276ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී තිබියදී ජය තහවුරු කර ගත්තේ පන්දු 5ක් ඉතිරිව තිබියදීය. මේ ජය සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4ක් සමඟ දෙවැනි තැන පසුවන අතර, ඉන්දියාව ද මුල් තරග දෙක ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා එක්දින තරග ඉතිහාසයේ දෙපිල හමුවූ 34 වැනි අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාව ජය ගත්තේ තෙවැනි වරටය. අවසන් වරට ශ්‍රී ලංකා පිල 2018 වසරේ සැප්තැම්බර් 16 වැනිදා කටුනායකදී ඉන්දීය කාන්තා පිල කඩුලු 3කින් පරාජය කර තිබිණි.

මේ තරගයේ පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ඉනිමේදී යළිත් ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි විශ්මි ගුණරත්න පළමු කඩුල්ලට හසිනි පෙරේරා (22) සමඟ ලකුණු 30ක් එක් කළ අතර, පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසු විශ්මි ගුණරත්න සමඟ එක්වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 94කින් ලකුණු 78ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ අඩිතාලම දැමුවාය. විශ්මි ලකුණු 33කට දැවී ගිය අතර, මේ තරගාවලියේදී පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස් කළ හර්ෂිතා තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 61කින් ලකුණු 53ක් රැස් කර තිබුණේ හතරේ පහර 5ක් සමඟිනි. මේ ඉනිමත් සමඟ එක්දින ලකුණු 1000 පසු කිරීමට හර්ෂිතා (1016) සමත් වූයේ 6 වැනි ශ්‍රී ලංකා පිතිකාරිනිය ලෙසිනි.

නායිකා චමරි අතපත්තු ඊයේ අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසියත් මේ තරගයේදීත් පිතිකරණයෙන් වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර, ඇයගේ ඉනිම ලකුණු 23කට සීමා විය.

ලකුණු 152දී 4 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු කවිෂා දිල්හාරිට එක්වූ නිලක්ෂි ද සිල්වා පන්දු 38කින් වේගවත් ලකුණු 57ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉදිරියට ගෙන ගියාය. කවිෂා ලකුණු 35කට දැවී ගිය අතර, වේගවත් ලකුණු 56ක් රැස් කළ නිලක්ෂි හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත්තේ පන්දු 33ක් පමණක් වැය කරමිනි. මුළු ලකුණු 238දී ඇය 7 වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු 8 වැනි කඩුල්ලට පන්දු 39කින් ලකුණු 40ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමින් ජය තහවුරු කිරීමට අනුෂ්කා සංජීවනි සහ සුගන්දිකා කුමාරි සමත් වූහ. අනුෂ්කා නොදැවී ලකුණු 23ක් සහ සුගන්දිකා නොදැවී ලකුණු 19ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී ස්නේ රානා කඩුලු 3ක් දවා ගත්තාය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිලට ඉක්මනින් ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, අංක 6 පිතිකාරිනි රිචා ගෝෂ් පන්දු 48කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 58ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ඇය 6 වැනි කඩුල්ලට දීප්ති ශර්මා සමඟ එක්ව ගොඩනැඟූ ලකුණු 52 ඉනිමේ ඉහළම සබඳතාව වූ අතර, ප්‍රාතිකා රාවල් සහ ස්මිත්‍රි මන්දනා පළමු කඩුල්ලට ලකුණු 51ක් එක් කළහ.

පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, ඉනෝකා රණවීර සහ දෙව්මි විහංගා කඩුල්ල බැගින් දවා ගත්හ.

මේ අතර තරගාවලියේ තෙවැනි තරගයේදී දකුණු අප්‍රිකානු පිල කඩුලු 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම තරගයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 235කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 46.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

තුන්කොන් තරගාවලියේ 5 වැනි තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අනිද්දා (7) පැවැත්වේ.

ඉන්දීය කාන්තා පිල – 275/9යි. (ඕවර 50) රිචා ගෝෂ් 58, ජෙමීමා රොඩ්‍රිගස් 37, ප්‍රාතිකා රාවල් 35, හර්මන්ප්‍රීත් කෞර් 30, හර්ලීන් ඩියෝල් 29, දීප්ති ශර්මා 24, ස්මිත්‍රි මන්දනා 18, කාෂ්වී ගෞතම් 17 (චමරි අතපත්තු 43/3, සුගන්දිකා කුමාරි 44/3)

ශ්‍රී ලංකා කාන්තා පිල – 278/7යි. (ඕවර 49.1) නිලක්ෂි ද සිල්වා 56, හර්ෂිතා සමරවික්‍රම 53, කවිෂා දිල්හාරි 35, විශ්මි ගුණරත්න 33, චමරි අතපත්තු 23, හසිනි පෙරේරා 22, අනුෂ්කා සංජීවනි නොදැවී 23, සුගන්දිකා කුමාරි නොදැවී 19 (ස්නේ රානා 45/3)

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here