Home World News Room : රෝහින්ග්‍යා සරණාගතයන්ගේ සුබසාධනයට බංග්ලාදේශය එ. ජාතීන්ගෙන් මුදල් ඉල්ලයි

News Room : රෝහින්ග්‍යා සරණාගතයන්ගේ සුබසාධනයට බංග්ලාදේශය එ. ජාතීන්ගෙන් මුදල් ඉල්ලයි

0
0

මියන්මාර රජය සහ කැරලිකාර සන්නද්ධ අරකන් හමුදාව අතර පවතින යුද ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට සංක්‍රමණය වන රෝහින්ග්‍යා සරණාගතයන්ගේ සුබසාධනය වෙනුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානි මහාචාර්ය මොහොමඩ් යූනුස් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සහාය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා එරට සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ප්‍රධානි ෆිලිපෝ ග්‍රැන්ඩි සමඟ පැවැති සාකච්ඡාවේදී එම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ජාත්‍යන්තර සහනාධාර සම්බන්ධව අමෙරිකාවේ නව ප්‍රතිපත්තිය හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයන් සඳහා සහන සැලසීම අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇති බවත්, සිය රටෙහි කඳවුරුවල ජීවත්වන මිලියනයකට අධීක රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් අරමුදල් වැඩි වශයෙන් ලබා දෙන ලෙසත් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට බංග්ලාදේශයේ ගිනිකොන පළාතේ පිහිටි කොක්ස් බසාර් හි මිලියන 1.2කට වැඩි රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසක් සිටින අතර, එය බංග්ලාදේශයේ ජනතාවගේ සුබසාධනයට අහිතකර ලෙස බලපා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මියන්මාර රජය සහ රයිඛන් ප්‍රාන්තයේ කැරලිකාර සන්නද්ධ අරකන් හමුදාව සමඟ පවතින යුද ගැටුම් මේ වනවිට උත්සන්න වී ඇති බවත්, එම තත්ත්වය මත රෝහින්ග්‍යා නව සරණාගතයන් බංග්ලාදේශයට සංක්‍රමණය වීම අර්බුදයක් බවට පත්වී ඇතැයි වාර්තා වේ. රයිඛන් ප්‍රාන්තයේ කැරලිකාර අරකන් හමුදාවට එරෙහිව රෝහින්ග්‍යා තරුණයන්ගෙන් සමන්විත ARSA සහ RSO නමින් හඳුන්වන ජිහාඩ් සන්නද්ධ කණ්ඩායම් ද යුද වැදී සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here