9
තමා තවමත් ඇමරිකාව සමග ඛනිජ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසයි.
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඇති වූ ගැටුම්කාරී හමුවෙන් පසුව ද ඇමරිකාව සමග ඵලදායී සංවාදයක් පැවැත්වීමට තමන් තවමත් කැමැත්තෙන් සිටින බව බටහිර ලන්ඩනයේ නායකයින් සමග පැවති සමුළුවකින් අනතුරුව හෙතෙම බීබීසී මාධ්‍ය වෙත ඊයේ (2) පැවසීය.
පසුගිය සිකුරාදා ට්‍රම්ප් සමග පැවති හමුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් පසුව අපේක්ෂිත ද්වීපාර්ශ්වික ගිවිසුම අවලංගු කෙරිණ.
ඇමරිකානු මාධ්‍ය වාර්තා කළ පරිදි කෙටුම්පත් ගිවිසුමට යුක්රේනය සහ ඇමරිකාව ඒකාබද්ධව හිමිකාරිත්වය දරන අරමුදලක් පිහිටුවීම ඇතුළත් වේ. යුක්රේනයේ ඛනිජ තෙල් සහ ගෑස් ඇතුළු ස්වාභාවික සම්පත් අනාගතයේ දී මුදල් ඉපැයීමෙන් පසුව ලැබෙන ආදායමෙන් 50%ක් අරමුදලට බැර කිරීමට නියමිතය.
ඊයේ (2) පැවති සමුළුවෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer පැවසුවේ යුක්රේනයේ සාමය සහතික කිරීම සඳහා සමුළුවේ නායකයින් පියවර හතරකින් යුත් සැලැස්මකට එකඟ වී ඇති බවත්, ගුවන් ආරක්ෂණ මිසයිල 5000 කට වඩා මිලදී ගැනීමට යුක්රේනයට බ්‍රිතාන්‍ය අපනයනයෙන් පවුම් බිලියන 1.6ක් (ඇ.ඩො බිලියන 2ක්) භාවිතා කිරීමට බ්‍රිතාන්‍යය ඉඩ දෙන බවත් ය.







