28
එක් අයකුට ලක්ෂ 220ක ජනතාවගේ සිතුම් පැතුම්-දුක කඳුළ-වේදනාව නොතේරෙන බවත්, අනෙක් කෙනා දුප්පත්කම-විනාශ වීම-ගිනිබත් කිරීම-සමූල ඝාතනය ප්රමුඛ කරගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පසුගියදා (06) හෝමාගම පැවැති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අපේ මාතෘ භූමිය බරපතළ ඛේදවාචකයකට ලක්ව තිබෙන මොහොතක, ජන ජීවිත අඩාළවී තිබෙන මොහොතක සුපිරිසිදු පාලනයක් තුළ ලක්ෂ 220ක් වූ පොදු ජනතාවට වගකියන, වගවෙන, විනිවිදභාවයෙන් යුත් ශක්තිමත් පොදු ජන කෙන්ද්රීය පාලනයක් තුළ අපි මේ රට අනිවාර්යයෙන් ගොඩගන්නවා.
මෙවර ජනාධිපතිවරණයේ බෙදුම් රේඛාව බොහොම පැහැදිලියි. සජිත් ප්රේමදාසගේ ඡන්ද ව්යාපාරය කඩාකප්පල් කිරීම අද ඇතැම් අයගේ අරමුණ වෙලා තිබෙනවා. නමුත් මගෙත්, මගේ පක්ෂයෙත්, මගේ සන්ධානයෙත්, මගේ කණ්ඩායමෙත් පොදු අරමුණ කඩාවැටුණු මාතෘ භුමිය නැවත ගොඩගෙන ලක්ෂ 220ක් ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරන හෙට දවසක් උදා කරලීමයි.
රනිල් වික්රමසිංහට සහ අනුර දිසානායකට ජන හද ගැස්ම තේරුම් ගන්න බෑ. සාමාන්ය ජනතාවගේ සිතුම් පැතුම් ගණන් ගන්නේ නෑ. අනෙක් පුද්ගලයා පොදු දේපොළ විනාශ කිරීම, සමූල ඝාතනය කිරීම යන කරුණු තමයි ඔවුන්ගේ දේශපාලන ජානවල තිබෙන්නේ.
ඇඟලුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහන බිහි කිරීමේදී එදා ජනතා විමුක්ති පෙරමුණ තුන්ඩුවක් නිකුත් කළා, ප්රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත ශාලා හදන සියලු දෙනා ඝාතනය කරනවා කියලා. ප්රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත ශාලා ගිනි තියනවා කියලා. අවුරුදු 76ක දේශපාලන ඉතිහාසයේ රාජ්ය බලයක් නොමැතිව කිසිවකුත් රට වෙනුවෙන් වැඩක් කර නෑ. බලයක් නොමැතිව රටේ සංවර්ධන කටයුත්තක් කිසිදු දවසක සිදු වෙලා නෑ. ජනතාවගෙන් අය කරන බදුවලින් ලැබෙන ආදායම නැවත සංවර්ධනය කියලා රටේ ජනතාවට බෙදා දෙනවා. නමුත් සමගි ජන බලවේගය මේ ක්රමයේ වෙනසක් ඇති කරන්න කටයුතු කළා. 76 වසරක දේශපාලන ඉතිහාසයේ වෙනස සමගි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සක්වල හුස්ම වැඩසටහන් යටතේ ඉටු කර තිබෙනවා. රාජ්ය ප්රතිපාදන නොමැතිව අධ්යාපනය සහ සෞඛ්ය වෙනුවෙන් ලක්ෂ 10,000ක සේවාවක් සිදු කර තිබෙනවා.
කඩාගෙන වැටුණු දේශය අපි ගොඩගන්න කටයුතු කරනවා. දූෂණය, වංචාව, හොරකම පිටුදකිනවා. රට විනාශ කළ හොරුන් අධිකරණයට ගෙනැවිත් ඔවුන්ට නීතිය ක්රියාත්මක කර රටට අහිමි වූ මුදල් සහ දේපොළ නැවත ගෙන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යොදවන්න කටයුතු කරනවා. අපේ රාජ්ය පාලනයක් තුළ විනිවිදභාවයෙන් යුක්ත රාජ්ය ගනුදෙනුවලට අපි ගමන් කරනවා. සෑම ගනුදෙනුවක්ම ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරනවා. රාජ්ය ගනුදෙනු සඳහා ජනතාවගේ බදු මුදල් වැය වන ආකාරය ජනතාව දැන ගත යුතුයි. සෑම රාජ්ය වියදමක් පිළිබඳව පුරවැසි ඔබට දැන ගන්න අයිතිය දෙනවා. ටෙන්ඩර් ක්රමවේදයෙන් බැහැරව කිසිදු ගනුදෙනුවක් සිදු කරන්නේ නෑ. ගජමිතුරු හිතවත්කම් මත කොන්ත්රාත් ප්රදාන කිරීම, ටෙන්ඩර් පටිපාටි සකස් කිරීම සිදු කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. දේශපාලන ඉතිහාසයේ දූෂණය පිටුදකින ස්වර්ණමය යුගය සැප්තැම්බර් 21 වැනිදා අපි නිර්මාණය කරනවා.
කොළඹ දිස්ත්රික්කයේ සිටින සෑම තරුණ තරුණියකුටම ශක්තිමත් නිදහස් අධ්යාපනයක් දෙන්න කටයුතු කරනවා. ලෝකයේ ඕනෑම තැනක රැකියාවක් ගන්න පුළුවන් තරුණ ප්රජාවක් අපි බිහි කරනවා. දැනුම කේන්ද්රීය ආර්ථිකය තමයි අපේ රටට තිබෙන හොඳම විසඳුම. අපනයනය කේන්ද්රීය ආර්ථිකය තමයි අපේ රටේ ආර්ථිකය වර්ධනය පදනම් විය යුතු සාර්ථකම මොඩලය. රටේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය ප්රවර්ධනය කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.
ගෙදර සිටින කාන්තාවන් ආර්ථික, සාමාජීය, දේශපාලනිකව ශක්තිමත් කරනවා. කාන්තා පරපුරට මුල් තැන, නිසි තැන දෙනවා. ගෙදර සිටින කාන්තාව ආර්ථික වර්ධනයේ පෙරමඟ ගමන්කරුවෙක් කරමින් කාන්තා කේන්ද්රීය සංවර්ධනයට අපි යොමු වෙනවා. බොරු පටු සැනසිලිදායක වචනවලට රැවටෙන්නේ නැතිව ඒ වචනවල මංමුළා වෙන්නේ නැතිව සමඟි ජන බලවේගය සමඟි ජන සන්ධානය සමඟ එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. රට හදන දක්ෂතම බුද්ධිමත් කණ්ඩායම ඉන්නේ සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සමඟයි. අපි 21 වැනිදා බිහි කරන්නේ පොදුජනතාවගේ යුගයයි. පොදු ජනතාවගේ ආණ්ඩුවයි.”
නලින් බණ්ඩාර මහතා
“ජාතික ජන බලවේගයේ රණවිරු බලවේගයේ යැයි කියා ගන්නා පුද්ගලයෙක් අනෙකුත් පක්ෂවලට තර්ජනය කරමින් වීඩියෝවක් මුදා හැර තිබෙනවා. එම වීඩියෝවෙන් පෙනෙන්නේ ජාතික ජන බලවේගයේ තිබෙන කෲරත්වය. ජාතික ජන බලවේගය තුළ සහ අනුර කුමාරලා සතුව තිබෙන්නේ වෛරය, ක්රෝධය, ඊර්ෂ්යාව සහ බලය වෙනුවෙන් මිනී මැරීම. අනුන්ගේ දේපොළක් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉඳලා නඩුවක් දාලා වසන්ත සමරසිංහ සහ මහින්ද ජයසිංහ අත්අඩංගුවට ගන්න කියලා ගල්කිස්ස උසාවියෙන් නියෝගයක් නිකුත් කරලා. හොරු අල්ලන කතාව කෙසේ වෙතත් කම්බ හොරු ඔක්කොම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ.”
පාඨලී චම්පික රණවක, හිරුණිකා ප්රේමචන්ද්ර සහ හර්ෂ ඩී. සිල්වා මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
රක්ෂණ ශ්රියන්ත






