Home Politics News Room : රිමාන්ඩ් සිරකරුවෝ ඡන්ද අයිතිය ඉල්ලති

News Room : රිමාන්ඩ් සිරකරුවෝ ඡන්ද අයිතිය ඉල්ලති

1
0

රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවකු අධිකරණය මඟින් වැරදිකරුවකු බවට නියම කර තෙක් ඔහු/ ඇය නිර්දෝෂී පුද්ගලයකු බව නීතියේ පිළිගැනීමයි. එහෙත් සමාජයේ බොහෝදෙනා බන්ධනාගාරගත සැකකරුවකු දෙස බලන්නේ වැරදිකරුවකු නොඑසේ නම් අපරාධකරුවකු ලෙසයි.

සැකකරුවන් ලෙස බන්ධනාගාරගත වන අයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය යටතේ සඳහන් විධිවිධානවලට යටත්ව සිරදඬුවම් ලැබූවන්ට මැතිවරණයකදී ඡන්ද අයිතිය හිමිවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති අනුව සුදුසුකම් ලැබූ සිරකරුවන්ට තමන්ගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ ඔවුනට ඡන්දය ලබාදීමේ අවස්ථාව තවමත් උදා වී නොමැති නිසාය.

වසර 1931දී අප රටට සර්වජන ඡන්ද බලය හිමිවුවත් මේ වනතෙක් මෙරට සියලුම පුරවැසියන්ට එම අවස්ථාව හිමිවී නැත. ඒ අතරින් එක් පිරිසක් වන්නේ සිරකරුවන්ය. ඡන්ද බලය අහිමිවිය හැකි ආකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විග්‍රහ කර ඇති අතර යම් කාලසීමාවක් යටතේ බන්ධනාගාරගත වීම මඟින් ඡන්ද බලය අහිමිවීම පිළිබඳ 89 (ඈ) අනු ව්‍යවස්ථාව යටතේ විග්‍රහ කෙරේ.

ඒ අනුව සිරකරුවන්ට ඡන්ද බලය අහිමිවන ආකාර 05කි.

වසර 02කට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට මාස 06කට වැඩි කාලයක් සිරදඬුවම් නියම කර ඇත්නම්, ගතවූ වසර 07ක කාලය තුළ එම ආකාරයේ දඬුවමක් සම්පූර්ණයෙන්ම විඳි තැනැත්තකු, මරණ දණ්ඩනය නියම වූ අයකු, මරණ දණ්ඩනය වෙනුවට මාස 06කට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳින අයකු, මැතිවරණයක් පැවැත්වීමට අවුරුදු 07ක කාලයක් තුළ එම සිරදඬුවම් සම්පූර්ණයෙන් විඳි තැනැත්තකුට ඡන්ද අයිතිය අහිමිය.

එහෙත් අවුරුදු 02කට අඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් සිරදඬුවම් ලැබිය හැකි වරදකට දඬුවම් ලබා ඇති සිරකරුවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කොන්දේසිවලට අයත් වුවද කොන්දේසි රහිත සමාවක් ලැබූ සිරකරුවකුට ඡන්ද අයිතිය හිමිවේ. එමෙන්ම අධිකරණයෙන් වරදකරුවකු වන තෙක් සියලුම සැකරුවන් සැලකෙන්නේ නිර්දෝෂී පුද්ගලයන් ලෙසයි. එසේ හෙයින් සියලුම රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතියක් ඇත. එසේම මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, දේපළ හිමිකම, අධ්‍යාපනය, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී/පුරුෂභාවය ආදී කිසිදු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල්වීමේ අයිතිය තිබෙන බවයි.

මේ වනවිට ලෝකයේ රටවල් 12ක පමණ සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දී තිබේ. නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඉන්දුනීසියාව ඒ අතර වේ. වසර 20 – 30ක පමණ කාලයක් සිරදඬුවම් නියමවූ අයට ද ඉන්දුනීසියාවේ ඡන්ද වරම හිමිවී ඇත.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙන පරිදි සැප්තැම්බර් මාසය ආරම්භ වන විට මෙරට බන්ධනාගාරවල සිටින සමස්ත සිරකරුවන් ප්‍රමාණය 29,788කි. ඔවුන් අතරින් සැකකරුවන් ප්‍රමාණය 19728කි. ඒ අනුව දඬුවම් ලබන සිරකරුවන් ගණන මෙන් තුන් ගුණයකට ආසන්න සංඛ්‍යාවක් රක්ෂිත බන්ධනාගාරගතව සිටී. බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනුව පසුගිය වසර කිහිපය පිළිබඳ සලකා බැලීමේදී 2014 – 2024 වසර 10 තුළ බන්ධනාගාරගත වූවන්ගේ පිරිස දෙගුණයකින් වැඩි වී තිබේ. මේ පිරිසගේ ඡන්ද අයිතිය සුරැකීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ එම සිරකරුවන්ට ජනාධිපතිවරණය සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්ය.

එම කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතා පවසන්නේ රිමාන්ඩ් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය හිමිකර ගැනීම සඳහා මෙය හොඳ ආරම්භයක් බවයි.

‘අපේ කමිටුව 2019 වසරේදී මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමට සංදේශයක් භාර දුන්නා. එය භාරගත් එවක සභපතිවරයා එය ඉතා හොඳ කටයුත්තක් කියා පැවසුවා. නමුත් වසර 05ක් ගතවෙලත් මේ අයිතීන් පිළිබඳව සතුටුදායක පිළිතුරක් නෑ. මැතිවරණ කොමිසන් සභාවෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් ටිකට්පත් මිලදී ගෙන ගුවන් යානා මඟින් ඡන්දය ප්‍රකාශ කරන්නට ලංකාවට එනවා. ඒත් ලංකාව ඇතුළේ ඉන්න රිමාන්ඩ් සිරකරුට රටේ පාලකයන් තෝරගන්න තම කැමැත්ත පළ කරන ඡන්ද අයිතිය අහිමියි. මෙය හරිම කනගාටුදායක වාතාවරණයක්. රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා නොදීම ඇත්තටම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය යටතේ 25 වැනි වගන්තිය අනුව සියලුම පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන්. අධිකරණය මඟින් වරදකරුවකු නොවී සැකකරුවකු ලෙස සිටින අයට මේ අයිතිය අහිමිවීම නොවිය යුතුයි.

අපේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේ සිරකරුවන්ට ඡන්දය ලබාදීමට සුදුසු පරිසරයක් සදන්න නියෝග කරන ලෙස ඉල්ලා යි. මේ සඳහා නීතිමය වශයෙන් පැහැදිලි ක්‍රමවේදයක් අවශ්‍යයි. මැතිවරණ කොමිෂන් සභාව ඒ ගැන කල්පනා කළ යුතුයි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකින්නට අප රටත් නෙල්සන් මැන්ඩෙලා ප්‍රතිපත්තියට අත්සන් කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ඡන්ද අයිතිය ලබා දීම අපේ වගකීමක්. මැතිවරණයක් සාධාරණ වන්නේ ඒ සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලත් සියලුම දෙනාට ඡන්දය දැමීමට අවස්ථාව හිමිවුණොත් පමණයි. සිරකරුවන් 20,000ක් පමණ රිමාන්ඩ් භාරයේ සිටිනවා. මේ අයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදිය යුතුයි’ නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙයි.

සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු කිහිපයක් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙයට පෙර පෙන්වා දී තිබිණි. එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ අදාළ මැතිවරණය සම්බන්ධව සහ ඒ හා අදාළ කරුණු පිළිබඳව බන්ධනාගාරගත රැඳවූවන් දැනුම්වත් කිරීමට අපහසුතා මතු වන බවයි. ඒ ඒ බන්ධනාගාරවල සිටින සැකකරුවන් රටේ විවිධ ප්‍රදේශවල අය වීම, සිරකරුවන් බන්ධනාගාරගතවී ඇති වරද සම්බන්ධ ගැටලු, දේශපාලන පක්ෂ අනුව පිල් බෙදීම් සහ අදහස් හුවමාරු කරගැනීම් ආදියට සිරකරුවන් යාම නිසා අභ්‍යන්තර කැරලි ඇති වීමට ඉඩ ඇති බව අපේක්ෂකයන් විසින් සිරකරුවන් වෙත විවිධ වරප්‍රසාද ලබා දෙන බවට යෝජනා ඉදිරිපත් වීමේ අවදානම එම ගැටලු අතර වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට මැතිවරණයකදී ඡන්ද දායකයන් ලෙස පෙනී සිටීමේ අයිතිය තිබෙන බවයි.

‘රිමාන්ඩ් සිරකරුවකුට වෙනත් රටවල් කිහිපයක හිමි එම අයිතිය අපේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළට ගෙන ඒමේදී ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටලු පළමුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විසඳා ගත යුතුයි. ලංකාවේ බන්ධනාගාර 30ක පමණ රඳවා සිටින සිරකරුවන් පිළිබඳව අවධානය යොමු කළහොත් ඒ සෑම බන්ධනාගාරයකම ඡන්දය භාවිත කළ හැකි සිරකරුවන් සිටිය හැකියි. මේ අයිතිය ඔවුනට ලබාදීමට අප දෙපාර්තමේන්තුව විරුද්ධ නැහැ. එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී කඩිනමින් ඒ අයිතිය රිමාන්ඩ් සිරකරුවන්ට ලබාදීමට හැකියාවක් නෑ. මොකද මේ අය හඳුනා ගන්නට අදාළ ලේඛන ගණනාවක් පිරික්සීමේ සිට තවත් තහවුරු කරගන්නට, සපුරා ගන්නට අවශ්‍ය කරුණු කාරණා රැසක් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ට යම් හෙයකින් ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමිවුවහොත් අපට විසඳාගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. එනම් මෙම සැකකරුවන්ට බන්ධනාගාරය තුළ ඡන්ද මධ්‍යස්ථානයක් (මැතිවරණ කොමිසමේ නිර්දේශ මත) ස්ථාපිත කරනවා ද නැතිනම් තැපැල් ඡන්ද වරම ඔවුනට ලබා දෙනවා ද යන්න ඉන් ප්‍රධානයි. එසේත් නැතිනම් ආයෝජන ප්‍රවර්ධන කලාපවල මෙන් විශේෂ ඡන්ද මධ්‍යස්ථාන බන්ධනාගාරය තුළ පවත්වනවා ද යන්නත් පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා.

ඒ වගේම මේ කුමන ආකාරයකට ස්ථාපිත කරන ඡන්ද මධ්‍යස්ථානයකට හෝ අවශ්‍ය ආරක්ෂාව සැපයිය යුතුයි. මේ කරුණු පිළිබඳ අධ්‍යයනය කරන්න අපට තව මාස කිහිපයක් ගතවේවි. එය අප ක්‍රමවත්ව කළ යුතුයි. මොකද මේ කටයුතු කරන්නේ අප බන්ධනාගාරයන් තුළ රැඳවූවන් සමඟයි. ඊළඟ මැතිවරණයකදී මේ ගැටලුව විසඳා ගැනීමට හැකි වෙතැයි මා විශ්වාස කරනවා. ‘උපුල්දෙණිය මහතා අවධාරණය කරයි.

සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා පසුගිය 05 දා මැතිවරණ කොමිසම විසින් වි‌ශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. ඒ සාකච්ඡාව සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මැතිවරණ නිරීක්ෂණ ආයතනවල නිලධාරීන් සහභාගිවී ඇත.

රිමාන්ඩ් සිරකරුවන්ට මෙවර ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය භාවිත කිරීමට ඇති ප්‍රායෝගික ගැටලු පිළීබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ රිමාන්ඩ් සිරකරුවන් සඳහා ඡන්ද අයිතිය ලබාදීමට පවතින ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමට ක්‍රමවේදයක් සැකසෙන බවයි.

‘අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රිමාන්ඩ් සිරකරුවකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවනවා. මානව හිමිකම් කොමිසමට මේ පිළිබඳව විමසීමට බලයක් තිබෙනවා. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ගැටලු, විසඳා ගන්නට පුළුවන් මට්ටමේ ඒවා බව පෙනී යනවා. මෙම සාකච්ඡාවට සහභාගි වූ පාර්ශවයන් එකඟවුණා එම ප්‍රායෝ ගික ගැටලු විසඳාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න. එය මානව හිමිකම් කොමිසම මඟින් අධීක්ෂණය කරනවා නිසි විදියට සිදු කරනවා ද කියලා. මේ පිළිබඳව තවත් සාකච්ඡා වාරයක් සැප්තැම්බර් 21 දායින් පසුව අප කැඳවන්නට බලාපොරොත්තු වනවා.

මෙම සාකච්ඡාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔවුන්ට පවතින ගැටලු කිහිපයක් ඉදිරිපත් කළා. මා විශ්වාස කරනවා ඒවා විසඳාගත හැකියි කියලා. උතුරේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවන ත්‍රස්තවාදීන් සිටින බිහිසුණු යුද්ධයක් තිබෙන කාලයක ඒ ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවලා මැතිවරණය පැවැත්වුණා නම් අද බන්ධනාගාරයක් තුළ ඡන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන එක ඒතරම් අමාරු කටයුත්තක් යැයි මා සිතන්නේ නෑ. එසේ ඡන්ද මධ්‍යස්ථානයක් බන්ධනාගාරයක් තුළ ස්ථාපිත කරනවා නම් මැතිවරණ කොමිසම මගින් පොලිස් දෙපාර්තමේන්තුවට දන්වලා අදාළ ආරක්ෂාව සපයන්නට අසීරු වන්නේ නැහැ.

අනෙක් අතට ඡන්දය හිමි සැකකරුවන් කවුදැයි නිශ්චිතව හඳුනාගැනීමේ අපහසුතාවක් මතුවන්නේ නැති බව මගේ විශ්වාසයයි. රිමාන්ඩ් සිරකරුවකු වරදකරුවකු වූ විට අදාළ උසාවි මගින් මැතිවරණ කොමිසමට ඒ තොරතුරු ලිඛිතව ලබාදෙනවා. අදාළ දඬුවම සඳහන් වන අතර මැතිවරණ කොමිසම ඒ අයව ඡන්ද හිමි නාමලේඛනයෙන්ඉවත් කරනවා. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මුහුණදෙන්නට වන ඒ ගැටලුව මැතිවරණ කොමිසම මඟින් විසඳා දෙනවා. පසුගිය 05 දා පැවැත්වූ සාකච්ඡාවේදී මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් මානව හිමිකම් කොමිසම වෙත සහතික වූයේ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා කැපවන බවයි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට වගකිවයුතු මූලික අධීක්ෂණ ආයතන ලෙස මානව හිමිකම් කොමිසම සිරකරුවන්ගේ ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පසුබට වන්නේ නෑ. ‘නීතිඥ පුංචිහේවා මහතා අවධාරණය කරයි.

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසුව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති අංශය) චින්තක කුලරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේදී රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිනොවන බවයි. ‘සිරගත කළ මෙම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මැතිවරණ කොමිෂන් සභාව වශයෙන් අප එම ඡන්ද අයිතිය පිළිබඳ සුබවාදීව සිටිනවා. සිරකරුවන්ට ඉදිරියේදී මේ අවස්ථාව උදාකර දීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන අප විසින් සකස් කරනවා” යැයි ද ඒ මහතා පවසයි.

‘සිරකරුවෝ මනුෂ්‍යයෝ ‘ යන්න වදනකට සීමා නොකොට රිමාන්ඩ් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලය එළඹ තිබේ. මෙම ජනාධීපතිවරණයෙන් පසු එළඹෙන පළමු මැතිවරණයේදී තමන්ට ඡන්ද අයිතිය හිමිවනු ඇතැයි රිමාන්ඩ් සිරකරුවෝ අපේක්ෂා සහගතව බලාසිටිති.

බුද්ධිකා ඉඹුලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here