11
මාලිමාවට ඡන්දය දුන්නොත් උතුරේ දකුණේ හැමෝටම එකට එකතුවී දිනන්න පුළුවන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ‘රට අනුරට’ තේමාවෙන් පසුගියදා (05) ජාතික ජන බලවේගයේ කිළිනොච්චිය රැලිය අමතමිනි. මෙය සමුපකාර සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“දීර්ඝ කාලයක් පුරා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ඔබත් විවිධ කාලවල විවිධ පක්ෂවලට ඡන්දයදී තිබෙනවා. සමහර අවස්ථාවල ඡන්දය වර්ජනය කරලත් තිබෙනවා. අපේ රටේ ජනතාව විවිධ ආණ්ඩු හදලා තිබෙනවා. ආපසු හැරිලා බලනකොට එම ආණ්ඩු අපේ රට විශාල විනාශයකට ඇද දමා තිබෙනවා. ජාතිවාදය ඇති කළා, ආගම්වාදය නිර්මාණය කර රට වැට්ටුවා. ආර්ථික වශයෙන් වැට්ටුවා, ජනතාව දුප්පත් කළා, රටේ යුද්ධ ඇති කළා. අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. ඒ ජනතාවට අවශ්‍ය දේ නොකළ ආණ්ඩු. නමුත් ඒ අය දියුණු වුණා. පොහොසත් වුණා. අපි ඔබ හමුවීමට ආවේ ඒ පරණ විදියට ඡන්දය පාවිච්චි නොකර අලුත් විදියට ඡන්ද පාවිච්චි කරන්න කියලා ඉල්ලන්න.
උතුර පළාතේ ජීවත් වෙලා ඉන්න තරුණ තරුණියන්ගේ විශාල වෙනසක් ඇතිවී තිබෙනවා. අලුත් පරම්පරාව පැරණි දේශපාලනයෙන් මිදී තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට අපේ රටේ පහළ පන්තියේ මිනිසුන්ට බලය ගැනීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. මේ මාසෙ 21 වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන්. රජයේ කාර්යාලවල, හමුදා කඳවුරුවල, පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය පාවිච්චි වූ අන්දම ඔබ දන්න අයගෙන් සොයා බලන්න. ඒ හැම තැනම ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්ද පාවිච්චිය 75% – 80% පැනලා තිබෙනවා. ඒ නිසා අපට ජයග්‍රහණය පිළිබඳ සැකයක් නෑ. නමුත් අපට දකුණේ ජනතාවගේ ඡන්දයෙන් විතරක් ජයග්‍රහණය කර ප්‍රමාණවත් නෑ. උතුරේ ජනතාවගේ ඡන්දයත් අපට අවශ්‍යයි.
මීට කළින් රටේ හැදුණේ උතුරේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ආණ්ඩු. 2005 ඡන්දයේදී උතුරේ ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දය වර්ජනය කළා. 2010 ඡන්දයේදී ෆොන්සේකාට ඡන්දය දුන්නා. ඔබ පැරදුණා. 2019 ගෝඨාභයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒත් පැරදුණා. හැබැයි මේ සැරේ මාලිමාවට ඡන්දය දෙන්න. උතුරේ දකුණේ අපි හැමෝටම එකට එකතු වෙලා දිනන්න පුළුවන්. අපි ආණ්ඩුව හදන්නේ මැති ඇමැතිවරුන්ට, ජනාධිපතිවරුන්ට මහජනයාගේ ධනය නාස්ති කරමින් සුඛෝපභෝගී ජීවිත ගෙවන්න දෙන්න නොවෙයි. අපි ආණ්ඩුව හදන්නේ උතුරු නැඟෙනහිර ඇතුළු සියලු ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්න. මේ කඩා වැටී තිබෙන රට දියුණු කරන්න. අපි ආණ්ඩුව හදපු දවසේ ඉඳලා ජනතාවගේ ජීවිත දියුණු කරන්න, රට පොහොසත් කරන්න වැඩ කරනවා. අපි දැනට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න සැලසුම් කර තිබෙනවා. සියලු ජනතාවගේ අයිතීන් තහවුරු කරන එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි නීතිවලින් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ.
මේ ගම්වල ප්‍රශ්න විසඳීමට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි. අපි ඉතාම ශක්තිමත් වැඩපිළිවෙළක් හදා තිබෙනවා, ගම්වල ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. පාසල්වල ගුරු පුරප්පාඩු පුරවන්න. ඒවායේ පහසුකම් වැඩි කරන්න. දරුවන්ට, මව්පියන්ට බරක් වූ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර රටේ අධ්‍යාපනය හොඳ තැනකට ගේන්න, ඉගෙන ගත් දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. කොච්චර මහන්සි වුණත් දරුවන්ට අද හොඳ අධ්‍යාපනයක් දෙන්න අපේ මව්පියන්ට නොහැකිවී තිබෙනවා. ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන බව අපි ඔබට සහතික වෙනවා. මේ කිළිනොච්චි ප්‍රදේශයේ විශාල ජනතාවක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්. මේ පළාත්වල ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්න නම් කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. අද අපේ රටේ කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. හොඳ බීජ ගැනීම අපහසුයි. ඒ නිසා බීජ පර්යේෂණ ආයතන දියුණු කර ගොවි ජනතාවට හොඳ වර්ගයේ බීජ දෙන්න අපි වැඩපිළිවෙළක් හදා තිබෙනවා. ඒ වගේම මේ පළාත්වල තිබෙන ඉඩම් මේ පළාත්වල ජනතාවට කෘෂිකර්මාන්තය සඳහා දිය යුතුයි. එනිසා ඊට අදාළ ඉඩම් ජනතාවට නොමැති නම් අපි ඉඩම් දීමේ වැඩපිළිවෙළක් හදනවා. ඊළඟට කෘෂිකර්මාන්තය සඳහා තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ඒ සඳහා අවශ්‍ය ජලය හිඟවීම. දැන් ගොවි මහතකු මට ලිපියක් දුන්නා. මේ පළාතේ සුළු සහ මධ්‍ය පරිමාණයේ වැව් 126ක් ඇතුළු වැව් 400කට වඩා තිබෙනවා කියලා. අපි අවුරුද්දක් ඇතුළත මේ සියලු වැව් ප්‍රතිසංස්කරණය කර දෙනවා. එතකොට බීජ තිබෙනවා. ජලය තිබෙනවා. ඉඩම් තිබෙනවා. ඔබට වගා කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන පොහොර සහ අනෙකුත් යෙදවුම්වලට සහනාධාරයක් දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. ඔබගේ නිෂ්පාදනවලට හොඳ මිලක් දෙන්න අපි කටයුතු කරනවා. එහෙම වුණාම ගොවි ජනතාවගේ ආදායම වැඩි වෙන්න පටන් ගන්නවා.
මේ පළාත්වලත් දැන් මත්ද්‍රව්‍ය, මත්කුඩු උවදුර විශාල ලෙස පැතිරෙමින් යනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ඉන්නේ දේශපාලකයන්. කිළිනොච්චියේ හෝ ලංකාවේ හෝ කුඩු හදන්නේ නෑ. මේ ඔක්කොම එන්නේ පිටරටින්. දේශපාලනික ඇඟිලි ගැසීම් නැතිනම් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ උවදුර මර්දනය කළ හැකියි. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ලංකාව බේරා ගන්නවා. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි හදන්න ඕනෙ. කතා කරන භාෂාව, අදහන ආගම, තම තමන්ගේ සංස්කෘතියට අනුව නීතිය එක එක විදියට ක්‍රියාත්මක වෙන්න බෑ. හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි ගොඩනඟනවා. අපේ දේශපාලකයන් නීතියට යටත් නෑ. නීතියට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා අපි දේශපාලකයාව ද නීතියට යටත් වෙන විදිහේ රටක් හදනවා.
මේ රට මෙච්චර දුප්පත් වෙන්න දේශපාලකයන් කරන හොරකම්, නාස්තිය හේතුවෙලා තිබෙනවා. අපි හොරකමෙන්, නාස්තියෙන් තොර රටක් හදනවා. අපේ ආණ්ඩුවක මම හෝ අපේ කිසිම මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු හොරකම් නොකරන බවට ඔබට සහතික වෙනවා. ඒ විතරක් නොවෙයි, මහජනයාගේ දේපළ හොරකම් කළ, නාස්ති කළ සියලු දෙනාම අධිකරණයට ගෙන යනවා. අධිකරණයෙන් ඔවුන්ට දඬුවම් දෙනවා. ඒ විතරක් නොවෙයි, හොරකම් කළ දේපළත් අපි ආපසු ගන්නවා. මේ රටට මේ විනාශය ඇති වූයේ මේ හොරු නිසා. මේ අය ආණ්ඩු හදා ගන්නේ මහජන ධනය සොරකම් කරන්න. නාස්ති කරන්න, එය නතර කළ යුතු නොවේද? මේ රටේ මහජන ධනය හොරකම් නොකරන ආණ්ඩුවක් අවශ්‍ය නම්, නාස්තිය නතර කරන ආණ්ඩුවක් ඕනෑ නම් ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
අපි දන්නවා පසුගිය යුද්ධය හේතුවෙන් ස්වාමියා අහිමි වූ, දරුවන් අහිමි වූ පවුල් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. ජනතාවට ජීවත් වෙන්න හරිහමන් ආදායමක් නෑ. ඒ නිසා අපි ඉගෙන ගන්න අපහසු, ආහාර ගන්න බැරි, බෙහෙත් ටික ගන්න බැරි, ජීවත් වෙන්න බැරි හැම පවුලකටම රුපියල් දස දහසක අවමයකට යටත්ව මාසික දීමනාවක් දෙන්න සැලසුම් කර තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත විදුලි බිල අඩු කරන්න සැලසුම්කොට තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සඳහා ගසා තිබෙන වැට් බදු අපි මුළුමනින්ම ඉවත් කරනවා. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනඟනවා. මේ පළාත්වල බාගෙට හදපු ගෙවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගෙවල් සම්පූර්ණ කර ගැනීමට අපි ඒ අයට ආධාර දෙන්න සූදානම් කර තිබෙනවා. එවිට ඔබට ආදායම් මාර්ගයක් තිබෙනවා. දරුවන්ට උගන්වන්න පුළුවන්. හොඳ නිරෝගීසම්පන්න ජීවිතයක් හදා ගන්න පුළුවන්.”
උපාලි කරුණාරත්න






